Saturday 21 October 2023

රුහුණු රටේ පිහිටි කන්ද- කදිර දේව රාජනේ

   

                                            


ලක්දිව ජනයාගේ වන්දනයට පාත්‍ර වූ දෙවිවරුන් අතර මහත් සැලකිලි හා ගරු බුහුමන් ලබන දෙවියෙකු ලෙස කතරගම දෙවියන් හැඳින්විය හැක. ඇතැමුන් විෂ්ණු, සමන්, විභීෂණ යන මහා දෙවිවරුන් අතර සිටින බලවත් දෙවියෙකු ලෙස ද කතරගම දෙවිඳුන් වන්දනයට හුරු වී සිටී. කතරගම දෙවිඳු, ස්කන්ධ කුමාර, කඳ දෙවිඳු, මහාසේන දෙවි නමින් ලාංකීය ජනයාගේ වන්දනයට පාත්‍ර වන අතර ඉන්දීය ජනයා ස්කන්ධ, අග්නිභූ, ගංගාජ, ශක්තිධර, සරභූ, ද්වාදසකර, තාරකජිත්, ශුභ්‍රමණ්‍ය, කාර්තිකේය, කන්ද කුමාර්, කන්ද ස්වාමී යන නම් වලින් ආමන්ත්‍රණය කරති. 

කෙසේ වතුදු කතරගම දෙවි උත්පත්තිය හා ඉතිහාස කථා පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ මෙන්ම හින්දු දේව සාහිත්‍යයන්ගේ ද, ජනශ්‍රැතියේ ද විවිධ මතවාද දක්නට ලැබේ. 

බුදු සමයේදී දකුණු ලක රජ කළ මහාසේන රජු කාරුණික නායකයෙකු මෙන්ම සම්මත දේව තත්වයට පත් නායකයෙකු ලෙස රට වැසියන් විශ්වාස කළෝය. එම කථා ප්‍රවෘත්තිය තුළ දී මහාසේන දෙවිඳුන් ‘සම්මුති දෙවියෙකු’, ‘උප්පත්ති දෙවියෙකු’ හා ‘විසුද්ධි දෙවියෙකු’ ලෙස හැඳින්විය හැක. එහි අර්ථ පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ “මිනිසුන්ට වඩා උසස්, පින් ඇති දිව්‍ය, බ්‍රහ්ම ආදීන්ගේ පහලවීම්” පිළිබඳව ඉදිරිපත් කළ කරුණු ජාතක අටුවාවේ දිව්‍ය භේදයේ මෙසේ සඳහන් කරයි.

“සම්මුති දේවා නාම- රාජානෝ, දේවියෝ, කුමාරා” 

“රජ දරුවෝ ය. රාජ්‍ය මෙහෙසියෝ ය. කුමාරවරු ය. යන මොවුහු සම්මුති දෙවියෝ වෙති.”

ඒ අනුව කතරගම අග නගරය කොටගෙන රාජ්‍ය විචාල මහාසේන රජු අයත් වන්නේ සම්මුති දේව ගණයට ය.

“උප්පත්ති දේවා නාම- භුම්මට්ඨක දේවේ උපාදාය තථුත්තරං”

“උප්පත්ති දෙවියෝ නම් තලාතු දෙවියන්ගේ පටන් චාතුර් මහාරාජික, තව්තිසා ආදී දේව යෝනීන්හි උප්පත්ති වූවෝ වෙති.”

ඒ අනුව කතරගම දෙවි මහ රජ්ජුරුවෝ ‘කන්ද කුමාර’ නමින් දේව යෝනීන්හි ජනිත වූ පින් ඇති දිව්‍ය රාජයෙකි.

“විසුද්ධි දේවා නාම- බුද්ධ පච්චේක බුද්ධ ඛීනාසවා”

“විසුද්ධි දෙවියෝ නම් බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා ය” 

ඒ අනුව බුදුන් වහන්සේ තුන්වන වර ලක්දිවට වැඩම කළ අවස්ථාවේ කතරගම කිරිවෙහෙර පිහිටා ඇති ස්ථානයේ කිරිවෘක්ෂ මූලයෙහි අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා ඇතුලු රහතන් වහන්සේලා පනසිය නමක් සමග වැඩ සිටින සමයෙහි, ඇප උපස්ථාන කළ කතරගම අග රජු වූ මහාසේන දෙව්රජු බුදුන් සරණ ගිය බව සඳහන් වේ. බුදු බණ කෙරෙහි අතිශය පැහැදුණු මහාසේන රජු මාර්ගඵල බෝධියට පැමිණි බව ද, බුදුන් වැඩි බිමෙහි රැකරණය භාරව සිට, මරණින් මතු එම ස්ථානයේම දේවාත්මයක් ලබා වැඩ වාසය කරන බව ද විශ්වාස කෙරේ. මේ බැව් කතරගම දේව කන්නව් වලදී ද දැකගත හැකිය.

“පළමු මේ කල්පයෙහි බුදු වූ බුදුවරයන් වහන්සේලාට මොහොතක් සමාධියට සමවැදී හිඳ ඉන් නැගී සිට දහම් දෙසා ආරක්ෂා පිහිටුවා ලූ කතරගම ශුද්ධ භූමියට වැඳ නමස්කාර කර ගෞතම සර්වඥයන් වහන්සේ බුදු බවට පැමිණි අටවෙනි වසරෙහි අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා ඇතුලු රහතුන් පන්සියයක් පිරිවරා කතරගම කිරිවෙහෙර අසල වූ කිහිරි ගස් සෙවණෙහි නිරෝධ සමාපත්තියෙන් මොහොතක් වැඩ හිඳ සමවතින් නැගිට කළ ධර්ම දේශනාව අසා සෝවාන් ඵලයෙහි පිහිටා බුදුන් වහන්සේ අතින් ලත් ජීව කේශි ධාතුවත්, බුද්ධ පාරිභෝගික රන්මුවා ආසනයත් නිධන් කොට කතරගම වෙහෙර නමින් චෛත්‍යයක් කරවා ලෝසසුන් වඩා පසුව මිනිස් කයෙන් මිදී දේවාත්මයක් ලබා කලක් මඟුල් සෑය නමින් හැඳින්වී දැන් කතරගම කිරිවෙහෙර යැයි කියන එම ස්ථානයටත්, අෂ්ඨඵලරුහ බෝධිරාජයා ඇතුලු අවට ශුද්ධ භූමියටත් අරක්ගෙන මෙරට පන්දහස් පන්සිය වසක් පවතින සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන මහාසේන දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස...”

ස්කන්ධ දෙවි පිළිබඳ ඉන්දියානු ඉතිහාස කථාවල සඳහන් වන්නේ සුරයින්ට අසුරයින්ගෙන් සිදුවූ අකටයුතුකම් හා පීඩාවන්ට එරෙහිව සටන් කිරීමට පහළ වූ දේව සෙන්පතියෙකු ලෙස යි. රාමායණයේදී එතුමාගේ පියා ‘අග්නි’ ලෙස ත්, මව ‘ගංගා’ ලෙස ත් දැක්වෙන අතර, මහාභාරතය, ශිව, අග්නි, ස්කන්ධ පුරාණ වල ‘ඊශ්වර’ හෙවත් ශිව දෙවියන්ගේ හා ‘උමයංගනා’ හෙවත් පාර්වතියගේ පුත්‍රයා ස්කන්ධ ලෙස දැක්වේ.

එහි එක් කථා පුවතක් මෙසේ විය. ඊශ්වර දෙවියන් දෙව් ලොව යුධ සේනාපති තනතුරෙන් ඉවත්ව තපස් රැකීමට ගිය අවස්ථාවක, අසුරයින් විසින් ශක්‍ර ප්‍රධාන වූ දෙව් ලොව ආක්‍රමණය කළහ. ඉතා දුක්ඛදායක ඉරණමකට පත් වූ ශක්‍ර සුර ලොවින් පහතට බැස වනාන්තරයකට වී කල් ගෙවීය. තම රාජ්‍ය නැවත ලබා ගන්නා ආකාරය පිළිබඳ කල්පනා කරමින් සිටින එක් දිනක් තරුණියකගේ විලාප හඬ ඇසුණෙන් ඒ දෙසට ගොස් බැලීය. එහිදී ඔහු දුටුවේ ප්‍රජාපතියගේ දියණියක වූ දේවසේනා ට බලහත්කාරකම් කිරීමට කේසින් නම් අසුරයා යි. වහා අසුරයා පන්නා දේවසේනා මුදාගත් ශක්‍රයාගෙන් ඇය ඉල්ලීමක් කළේය. එනම් තමාට ගැලපෙන ශක්තිවන්ත, අසුරයන් පැරදවිය හැකි, රණකාමී සැමියෙකු ලබාදෙන ලෙස යි. ශක්‍ර එම ඉල්ලීම මහා බ්‍රහ්මට ඉදිරිපත් කළ අතර, මහා බ්‍රහ්මගේ අදහස වූයේ අග්නි (ඊශ්වර) දේවතාවාට දාව, ගංගා (පාර්වතී) නදිය විසින් දරුවකු බිහිකර දිය යුතු බවයි. 

ඒ මොහොතේ වශිෂ්ඨ ඇතුළු සෘෂිවරුන් සත් දෙනා මහා යාගයක් කරමින් සිටියහ. එම යාගයේ ගින්නේ ප්‍රාදුර්භූත වූ ඊශ්වර දෙවියන්, තාපසාරමවල සයනයන් මත නිදා සිටින සෘෂිවරුන්ගේ බිරින්දෑවරුන් දැක, ඔවුන්ගේ රූසපුවට වශීකෘත වී රාගී සිත් ඇති කර ගත්තේය. රාගී සිත ආයාසයෙන් මැඩගෙන වනයට ගිය ඊශ්වර දුටු පාර්වතිය, ඔහුකෙරේ රාගයෙන් මත්ව සෘෂිවරුන්ගේ බිරින්දෑවරුන්ගේ වේශයන් ගෙන සය වතාවක් ඊශ්වර ඉදිරියට ගොස් තම සිතැඟි ඉටුකොට ගත්තාය. ඇය ඊශ්වරගෙන් ගත් බීජ සයක් සෘෂිවරුන්ගේ වැඳුම් පිදුම් වලට පාත්‍ර වූ ස්වර්ණමය පොකුණක තැන්පත් කළාය. කල් ඇවෑමෙන් පොකුණෙන් හිස් හයක්, කන් දොලොසක්, ඇස් දොලොසක්, අත් දොලොසක්, පා දෙකක් සහිත කුමාරයෙකු බිහි විය. සුදුසු වියට පත් මෙම කුමරු දේවාසනා සමග විවාහපත් වී, අසුරයන් පරදවා සුරයන්ට දේව ලෝකය නැවත අත්පත් කර දුන්නේ ය. ඔහු ‘ස්කන්ධ’ හෙවත් ‘සුර සෙන්පති’ නමින් ප්‍රසිද්ධියට පත් විය. 

තවත් කථා ප්‍රවෘත්තියක දැක්වෙන්නේ වරෙක ඊශ්වරගේ ලලාට නේත්‍රයෙන් (තෙවනැසින්) ගිනිදැල් විහිදුණු අතර, ඒවා ‘සරවන’ නම් විලෙහි තැන්පත් විය. එයින් උපන් දරුවෝ සත් දෙනෙකු සප්ත සෘෂිවරුන්ගේ බිරින්දෑවරුන් විසින් කිරිපොවා හදා ගත්හ. මෙම දරුවන්ව දුටු පාර්වතී රූපශ්‍රීයෙන් වශී වී දරුවන්ව දෑතින් බදා ගත්තාය. එක් දරුවෙකු දෑතට හසු වූයේ නැත. ඔහු ගනේෂ විය. අනෙක් දරුවන් සියල්ලෝම එකට ඇලී එක් කන්ධයකින්, අත් දොළොසකින් සහ මුහුණු සයකින් යුත් ස්කන්ධ කුමරු බිහි වූ බව කියැවේ.

                            වත් සය අත් දොලොස චන්ද්‍ර චක්‍රායුධ ගෙන

                            යුත් ඇලි මයුරා පිට පැන නැගී වදා  රන

                            පත් සිසි මඩලක්දෝ කිරි මුහුදට                  පායන

                            සෙත් සිරි දී මෙමල් අස්න ගෙන හැර දක්   වන 

තම උපක්‍රමය අසාර්ථක බව දැන, විෂ්ණු දෙවියන් අනංගයා හෙවත් මල්සරා කැඳවා ඊශ්වර උමයංගනා දෙස බලන මොහොතක මල්සැරයක් විදින ලෙස උපදෙස් දුන්නේ ය. සුදුසු අවස්ථාව පැමිණෙන තෙක් කෛලාසකූටයේ කිරිපලු රුකකට මුවා වී සිටි අනංගයා, ඊශ්වර දෙවියන් ධ්‍යානයෙන් මිදී පහසුවෙන් සිටීමට සැරසෙන විට දෙපා දෙවීමට පැමිණි උමයංගනාව දෙස බැලූ මොහොතේදී ම ඔහුව රාගයෙන් කුල්මත් කරවමින් හී සැරයක් විදී ය. තම ධ්‍යානය බිඳීගිය බව දැනුණු ඊශ්වර, ඒ පිළිබඳ විමසිලිමත් වනවිට කිරිපලු රුකකට මුවා වී සිටි අනංගයා දුටුවේය. කෝපාවිෂ්ඨ වූ ඊශ්වරගේ ලලාට නේත්‍රය හැරිණි. මල්සරා අළු දුහුවිලි වී ගියේය. ඊශ්වර හා උමයංගනාව ප්‍රේමයෙන් වෙලිණි. තම ආදරය වෙනුනේ ජීවිතය කැප කළ මල්සරා පිළිබඳ තෙත් වූ ළයෙන් හැඬූ උමයංගනාවගේ බලවත් ඉල්ලීම පරිදි මල්සරාට සදා අමරණීය වන ජීවය ලැබුණ ද, ඒ හිණෙන් උඩ කොටස පමණි. ඊශවර හා උමයංගනාවගේ එක් වීමෙන් උපන් කුමරු කඳ කුමරු වූ බවත්, උමයංගනාවගෙන් ලැබුණු බලවත් ආයුධයක් වූ වේලායුධය රැගෙන ලක්දිවට සැපත් ඔහු මායාපුරයේ තාරක නම් අසුරයා ද, ශ්වේතපුරයේ සිංහමුඛ අසුරයා ද, හේමකූටයේ සුරපත්ම අසුරයා ද පරදවා සුරයින්ට සහනය සැලසූ බවත්, දෙවි සෙන්පති ධූරය ලැබ කාජරගාමයේ වල්ලී නම් සුරූපිනිය සරණකොටගෙන ලක්දිව රැඳුණු බවත් හින්දු දේව පුරාණයේ කියැවේ. ස්කන්ධ කුමරුගේ ඉන්දීය බිරිය වූ දේවාසනා හෙවත් තේවානි අම්මා ද ලක්දිවට පැමිණ මොවුන් සමග සාමයෙන් වාසය කළ බව කියැවේ. 

ගණ දෙවියන්ගේ හස්ති ස්වරූපය බිහි වීමට ද ස්කන්ධ කුමරුගේ සම්බන්ධයක් ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ. සෙල්ල කතරගම දිවි ගෙවූ වැදි රජුගේ සුරූපී දියණිය වූ ‘වල්ලී’ කෙරෙහි සිත බැඳුණු ස්කන්ධ, ඇය තම ප්‍රියම්බිකාව කරගැනීමට දැඩි උත්සාහයක් ගත්තේය. දෙවනුව තම සහෝදර ගණ දෙවියන්ගේ පිහිට පැතුවේය. තම සහෝදයා වෙනුවෙන් උපකාර කිරීමට ඉදිරිපත් වූ ගණ දෙවියෝ, සෙල්ල කතරගම මැණික් ගඟ ළඟ දර කඩමින් සිටි වල්ලී ඇතුළු පිරිස වෙත ඇත් වේශයක් මවාගෙන පැමිණ වල්ලී පසුපස පන්නන්නට විය. ඇතුගෙන් ගැලවීමට කෑගසමින් දිවයන වල්ලී ඉදිරියට පැමිණි ස්කන්ධ කුමරු ඇය වැළඳ ගත්තේය. මෙම වැළඳ ගැනීමත් සමග ඇය දිව්‍යමය තත්වයට පත් වූ බව පුරාණ දේව කථාවල කියැවේ. 

වල්ලි මාතාව ලැබීමේ සතුට නිසා ස්කන්ධ කුමරුට සිය සහෝදරයාගේ ඇත් වේශය ඉවත් කිරීමට අදාළව කළයුතු වත් පිළිවෙත් කිරීමට අමතක විය. ඇත් වේශයෙන් පැමිණි වල්ලී හඹා ගොස් ස්කන්ධ කුමරු හමු වුණාට පසු තම අත රැඳි පැන් කෙණ්ඩියෙන් ගණ දෙවියන්ගේ හිසට පැන් ස්වල්පයක් ඉසීමෙන් පමණි, ඇත් වේශය නැති වන්නේ. ස්කන්ධ කුමරුට මෙම පොරොන්දුව අමතක වී තිබුණි. එනිසා ගණ දෙවියන් ප්‍රකෘති තත්වයට ගතයුතු වූ වේලාව පසු විය. සදාකල්ම ඇත් වේශයෙන් සිටින්නට සිදුවීම පිළිබඳව මහත් කණස්සල්ලට පත් ගණ දෙවිඳුන් මුඛයේ තිබූ දළ දෙකින් එකක් කඩාගත් බව ගණපති හෑල්ලේ සඳහන් වේ.  

ලක්දිව වැසියන් විශ්වාස කරනු ලබන තවත් ප්‍රවාදයක් වනුයේ කතරගම දෙවියන් යනු බලවත් රාක්ෂස රජෙකු වූ ‘යගු කෞරාණ මණ්ඨක’ හෙවත් ‘මහා රාවණයන්” බවයි. රාමගේ පාර්ශවයෙන් මහා රාවණයන්ගේ නැගෙණිය වූ සුපර්ණකාට සිදු වූ අසාධාරණයක් නිසා කිපී, රාමගේ බිරිඳ වූ සීතා දේවිය ලක්දිවට රැගෙන ආ බව සුපකට කරුණකි. නමුත් සීතා දේවිය මහා රාවණයන්ගේ දියණියක වූවා ය. රාමගේ හමුදාව සටනට පැමිණෙන විට රාවණයන් පසු බැස්සේ මෙම සටනින් රාම පරාජය වුවහොත් තම දියණිය කනවැන්දුම් වන නිසා ය. දසිස් රාවණ හෙවත් දසවිධ ශක්තීන්ගෙන් කෙළ පැමිණියා වූ රාවණ තෙම, සියදිවි නසාගත් තම රූපකායක් මවා ලංකාපුර රාජධානියේ තබා ලක්දිව රුහුණු ප්‍රදේශයේ කාජරගාමයට ගියේය. ඔහුගේ ජීවානුහරණයෙන් පසු ලක්දිව යක්ෂ ගෝත්‍රික ජනතාව ඔහුව දේවත්වයෙන් වැඳුම් පිදුම් කරන ලදී. මහා රාවණයන්ගේ සංකේත අදට ද කතරගම දේව වන්දය තුළ දක්නට ලැබේ. රාවණයන් දඬු මොණරයේ නැගී ගිය බැවින් කතරගම දෙවියන්ගේ වාහනය මයුරා විය. ‘මණ්ඨක’ හෙවත් රාක්ෂයින්ගේ “සියල්ල සම්පූර්ණ කළ තැනැත්තා” නිසා සංකේතාත්මකව හිස් සයක් සහ අත් දොලොසක් මගින් එය නිරූපණය විය. ලංකාපුර රාජධානිය, වැඩසිටි කන්ද වැනි උස්කඳු මුදුන්වල තම රාජධානි තැනූ බැවින් ‘උස් කඳුවලට අධිපති වූ කුමරා’, ‘උස්කඳු කුමරා’ හෙවත් “ස්කන්ධ කුමරා”, “කන්දේ දෙවියන්” ලෙස ලක්වැසියන් තුළ මහත් ප්‍රසිද්ධියට පත් විය. 

ධෛර්යය, වීර්යය, ප්‍රතාපවත් බව, බල පරාක්‍රමය හා ශක්තිය ආදී වූ මහානුභාව සම්පන්න දිව්‍ය ශක්තීන් මුහුණු සයකින්, අත් දොලොසකින් නිරූපණය කරමින්, කෙටේරිය, දුන්න, හීය, පලිහ, පොත, අංකුසය, ත්‍රිශූලය, කඩුව, මුගුර, සැවුල් ධජය, සංඛය, තෝමරය අත් වල දරමින්, දකුණු උරහිසෙහි රණ මොණරෙකු ද, පාමුල නාගයෙකු ද, දෙපස තේවානි අම්මා සහ වල්ලි අම්මා ද සමග සිටින කතරගම දෙවියෝ ලක්දිව රුහුණේ සිට කුඩා කතරගමට, මහා කතරගමට, සෙල්ලං දූවට, මඩං දූවට, මැණික් ගංගාවට, කිරිවෙහෙරට, වැඩිහිටි කන්දට, මුහුදු මැද ත්‍රිත්ව කෝවිලට, කළුවවිල කොට්ටියාරාමයට, මුන්නේශ්වරම් දේවාලයට, මුන්නේශ්වරම් පස් පත්තුවට, රුහුණු පස් පත්තුවට, වළවේ ගංගාවට, කිරිඳි ගංගාවට, සෙල්ල කතරගමට, මහ දේවාලයට බලය තේජස පාමින් සිටී. 

ලක්දිවට බලපෑම් ඇතිවන විවිධ අවස්ථාවලදී කතරගම දෙවියන් පිහිට වූ බවද, ඵෙතිහාසික ජනප්‍රවාද වල සඳහන් වේ. දිනක් දුටුගැමුණු කුමාරයා පෙහෙවස් සමාදන් වී දිවුරුම් ගල මතට වී සිටිය දී නින්දට වැටුණු අතර, එතුමාට සිහිනයක් පෙණිනි. මයුරාසනාරූඩ වී පැමිණි අමුත්තකු පැමිණ, ඉදිරියේදී ඇතිවන මහා යුද්ධයෙන් ජය ලබා ගැනීමට තමා උපකාර කරන බවත්, ජය ලබාගත් පසු දිව්‍ය විමානයක් ඉදිකර දියයුතු බවත් පොරොන්දු ගිවිස ගත්හ. එහිදී දුටුගැමුණු රජු කතරගම දෙවියන්ගේ පිහිට පතා ඵලරුහ බෝධියට බාරයක් විය. 

තම පියා වූ කාවන්තිස්ස ගෙන ගිය ප්‍රතිපත්ති තවදුරටත් තහවුරු කරගත් ජ්‍යෙෂ්ඨ ගාමිණී (දුටු ගැමුණු) රජු තම විජයග්‍රහණයෙන් පසු මෙම ස්ථානයේ දෙවොලක් කරවා, ඒ සමය වන විට රුහුණේ ප්‍රබල දෙවියෙකු වූ කතරගම දෙවියන්ට බාර කළ බවත්, රුහුණු වැසියන්ගේ සිත් තුළ සම්මත පිළිගැනීම ලෙස තිබූ මුහුණු සයක්, අත් දොළොසක් සහිතව මයුරාසනාරූඩ වූ රූපය සහිත දිව්‍ය මාළිගය ඉදිකළ බවත් කියැවේ.    

කෙසේ වතුදු අද වන විට කතරගම දේව අඩවිය බෞද්ධ මෙන්ම හින්දු භක්තිකයින්ගේ ඉමහත් ගෞරව ප්‍රසාදයට ලක්වන ස්ථානයකි. කතරගම දේව අඩවිය තුළ ඉස්ලාම් දේවස්ථානයක් පවා තිබේ. එනිසා කතරගම දේව සංකල්පය හා කතරගම පුදබිම ජාතික සමගියේ යම් යම් ලක්ෂණ පිරුණු කේන්ද්‍රස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. 


නවෝදිකා සුභාෂිණී

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

කැලණිය



No comments:

Post a Comment

මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳ ඔබ දැනුවත් ද?

  මැදහත් බවින් යුතුව යමක් දෙස බැලීම මාධ්‍යයේ භූමිකාවයි. ඒ තුළින් ලබා දෙන සංදේශය නිවැරදි ලෙස වටහා ගැනීමට ඇති හැකියාව මාධ්‍ය සාක්ෂරභාවයෙන් යුත...