Thursday 2 November 2023

මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳ ඔබ දැනුවත් ද?

 






මැදහත් බවින් යුතුව යමක් දෙස බැලීම මාධ්‍යයේ භූමිකාවයි. ඒ තුළින් ලබා දෙන සංදේශය නිවැරදි ලෙස වටහා ගැනීමට ඇති හැකියාව මාධ්‍ය සාක්ෂරභාවයෙන් යුතු ග්‍රාහකයාගේ භූමිකාවයි. මාධ්‍ය සංදේශය නිවැරදිව හා සරලව අවබෝධ කර ගැනීමට ඇති හැකියාව මාධ්‍ය සාක්ෂරතාව ලෙස අර්ථ දැක්විය හැකිය.

අද අප ජීවත් වන්නේ මාධ්‍ය සාක්ෂරතාවය අන් කවරදාටත් වඩා අවශ්‍ය යුගයක් තුළයි. ඊට හේතුව අසීමිතව වර්ධනය වෙමින් පවත්නා මාධ්‍ය කර්මාන්තය තුළ සමාජයේ පැවැත්ම සමබර කර ගැනීමට මාධ්‍ය සාක්ෂරතාවය අත්‍යවශ්‍ය වීමයි. මිනිසාගේ තොරතුරු සන්නිවේදන භූමිකාව වර්තමානයේ ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ වර්ධනය වෙමින් පවතී. ඒ තුළ මාධ්‍ය බලපෑමකට එහා ගිය ආධිපත්‍යක් අත්කරගෙන තිබේ. අද්‍යතනයේ ජනමාධ්‍ය තොරතුරු ක්‍රියාවලිය පාලනය කරමින් ඒ මත සිය බලය හා බලපෑම පවත්වාගෙන යමින් සමස්ත සමාජකරණ ක්‍රියාවලියට තීරණාත්මකව මැදිහත්වීමේ උපකරණයක් ලෙස කටයුතු කරයි.මෑත කාලයක් වන තුරුම සමාජය තුළ තොරතුරු බෙදා හැරීමේ මෙහෙවර ඉටු කරනු ලැබූයේ මුද්‍රිත මාධ්‍ය ඇතුළුව රූපවාහිනිය හා ගුවන්විදුලි මාධ්‍යයයි. නමුත් ජනමාධ්‍ය අභියෝගයකට ලක් කරමින් නූතන සමාජය අත්පත් කර ගැනීමේ බලය අද වන විට හිමිවී තිබෙන්නේ සමාජ මාධ්‍ය හටයි. ඒ තුළ පුද්ගලයාට ඕනෑම තොරතුරක් ලබා ගැනීම පමණක් නොව සිය අදහස් ප්‍රකාශ කිරීමේ අවකාශයද හිමිවේ.

මිනිසාට අවශ්‍ය පමණටත් වඩා තොරතුරු ගලා එන මාධ්‍ය ඕනෑ තරම් සමාජය තුළ පවතී. නමුත් ඒ හරහා ලබා ගන්නා බොහෝ තොරතුරු වගකීම් සහගත බවින් තොරවීම ගැටලුවකි. ඊට හේතුව බොහෝදෙනාගේ අභිවෘද්ධීන් හා අරමුණු වෙනුවෙන් මාධ්‍ය කටයුතු කිරීමයි. මාධ්‍ය මගින් කුමන තොරතුරක් ප්‍රකාශයට පත් කළ ද ඒවායෙහි ඇති සාවද්‍ය බව හා නිරවද්‍ය බව විචාරශීලීව අවබෝධ කර කරගැනීම පවතින්නේ මාධ්‍ය සාක්ෂරතාවය මතයි.

මාධ්‍ය සාක්ෂරතාවයේ උන්නතිය උදෙසා ලොව දියුණු රටවල් වැඩි අවධානයක් යොමු කළත් ශ්‍රී ලංකාව ඇතුළු තුන්වන ලෝකයේ රටවල් ඒ සම්බන්ධයෙන් දක්වන උනන්දුව පහළ මට්ටමක පවතී. මෙම ගැටළුව හේතුවෙන් අනෙකුත් රටවලට සාපේක්ෂව තුන්වන ලෝකයේ රටවල් තුළ මාධ්‍ය හරහා සිදුවන අපරාධ දිනෙන් දින ඉහළ යෑම කනගාටුදායක කරුණකි.

පුද්ගල සන්නිවේදන අවශ්‍යතාවයේ ස්වරූපය මත මාධ්‍ය තෝරා බේරා ගැනීමකට ලක් වේ. වඩාත් පහසු සන්නිවේදන ක්‍රම අනුගමනය කරමින් පුද්ගලයා තම අවශ්‍යතා හා වුවමනා ඉටුකර ගනු ලැබුවද එය භාවිතය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති වීම මෙවැනි තත්ත්වයක් උද්ගත වීමට හේතු වී ඇත. මෙම ගැටළුව නිරාකරණය කරගැනීමට නම් මාධ්‍ය සාක්ෂරතා ඥානය පුද්ගලයා සතු විය යුතුය යුතු යැයි ප්‍රකාශ කරන්නේ එබැවිනි.


H.M.නවෝදිකා සුභාෂිණි 

ජන සන්නිවේදන අධ්‍යන අංශය 

කැළණිය විශ්ව විද්‍යාලය

මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳ ඔබ දැනුවත් ද?

  මැදහත් බවින් යුතුව යමක් දෙස බැලීම මාධ්‍යයේ භූමිකාවයි. ඒ තුළින් ලබා දෙන සංදේශය නිවැරදි ලෙස වටහා ගැනීමට ඇති හැකියාව මාධ්‍ය සාක්ෂරභාවයෙන් යුත...