Saturday 21 October 2023

වාත්ස්‍යායනගේ කාම සූත්‍රයෙන් පෝෂණය වූ මීරා නායර්ගේ කාම සූත්‍ර

 

 



කථා සාරාංශය

ඉන්දියානු සාහිත්‍යකරු වාත්ස්‍යායන විසින් ඉදිරිපත් කළ කාම සූත්‍ර ග්‍රන්ථයේ මූලික අන්තර්ගතය පිළිබිඹු වන කාම සූත්‍ර චිත්‍රපටය 1996 වසරේ දී  මීරා නායර් විසින් අධ්‍යක්ෂණය කර, 1997 පෙබරවාරි 28 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ දී මුල් වරට ප්‍රදර්ශනය කරන ලදී. ඉන්දියාවේ රූ ගත කල මෙම චිත්‍රපටය ඉන්දියාවේ දී රූ ගත කළ ද, ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් විය. 16 වන සියවසේ ඉන්දියාවේ කජුරාවෝ කෝවිල ආශ්‍රිතව පැවති මාලිගාවක වෙනස් සමාජ පන්තීන් නියෝජනය කරන කාන්තාවන් දෙදෙනෙකු ආශ්‍ර‍යෙන් මෙම කථාව දිග හැරේ.

සේවිකාවක වූ මායා (ඉන්දිරා වර්මා) අතිශය රූමත් අඟ පසඟින් යුක්ත තැනැත්තියක් වූ අතර ඇගේ ස්වාමි දූ වන ටාරා (සරීටා චෞද්රි) ඉහළ කුල කුමරියක් වේ. ඔවුන් දෙදෙනා කුඩා කල සිට මිතුරියන් වන නමුත් ඊර්ෂ්‍යාව සහ ක්‍රෝධය මෙන් ම අහංකාරකමින් යුතු වූ ටාරා වැඩි වියට පත් වන විට තම මිතුරිය වූ මායා ව ඈත් කරයි. තරුණ වියට පත් වන විට මායා සම්භාව්‍ය නර්ථන ශිල්පිනියක් බවට පත් වෙයි. ඒ අතර බික්‍රම් කුමරු මායා ගේ සෙනෙහස බලාපොරොත්තු වෙයි.

ටාරා කුමරිය විවාහ වීමට සූදානම් වන අතර, තම අනාගත බිරිඳ බැලීම සඳහා රාජ් සිං (නවීන් ඇන්ඩෘස්) කුමරු ටාරා ගේ මාළිගාවට පැමිණේ. අහඹුවක් මෙන් රාජ් සිං කුමරුගේ නෙත ගැටෙන්නේ මායා ය. ඉන් අනතුරුව මායා සහ රාජ් සිං කුමරු අතර ගාන්ධර්ව විවාහයක් (ලිංගික සම්බන්ධයක්) සිදුවේ. එය බික්‍රම් කුමරු දකින අතර එය ඔහුට වා වා ගත නොහැකි තත්ත්වයක් පෙන්නුම් කරයි. ටාරා සහ රාජ් සිං කුඩා කල සිට විවාහ වී සිටින අතර, ඔවුන්ගේ තරුණ විය විවාහය සිදු වීමට පෙර රාජ් සිං සහ මායා අතර සිදුවන මෙම ලිංගික සම්බන්ධය මත කතාව දිගහැරේ. එම සම්බන්ධයෙන් පසු බික්‍රම් කුමරු, මායා ට තමා සමඟ විවාහ වන මෙන් ඉල්ලීමක් කරන නමුදු, ටාරා සහ රාජ් සිංගේ විවාහය දකින මායා ඒ වන විට මානසික සිත් තැවුලෙන් පසු වේ. අනතුරුව ඇගේ ත්, රාජ් සිංගේ ත් සම්බන්ධය පිළිබඳව බික්‍රම් කුමරු ටාරා ගේ මවට කරුණු හෙළි කරයි. අවසානයේ දී මායා ව මාළිගා සීමාවෙන් පිට කරයි.

රාජ් සිං සමඟ විවාහ වන ටාරා ඔහුට ප්‍රේමයෙන් පසු වුවත්, ලිංගික සම්බන්ධයක් පිළිබඳ කිසිදු හැඟීමක් හෝ තැකීමක් නොදක්වයි. ඇයව බියට පත් කර, ඇය සමඟ ලිංගික සම්බන්ධයක් පැවැත්වුවහොත් එය මනාලිය දූෂණය කිරීමක් ලෙස සිතන රාජ් සිං එසේ සම්බන්ධ වීමට අකැමති වෙයි.

නිවසින් පිට වූ මායා ඉබාගාතයේ හැසිරෙමින් ගමන් කරන විට තරුණ ගල් මූර්ති ශිල්පියෙක් වන ජායි කුමාර් (රේමන් ටිකැරච්) හමු වේ. ඔහු මායා තම සුරූපී සහ දැඩි අනුරාගී ප්‍රතිමා සඳහා අනුප්‍රාණයක් වී ඇති බව ඇයට හෙළි කරයි. ඇගේ සිතිවිළි වල කැළඹීම වටහා ගන්නා ජායි කුමාර් ඇගේ මනස සුවපත් කිරීම සඳහා කාමය, තරහව, පෙළඹවීම සහ ආදරය පිළිබඳ හසල දැනුමක් ඇති පැරණි කලා ගුරුවරියක වන රස දේවි (රේඛා) නම් වැඩි මහළු කාන්තාව ළග ඇයව නතර කරයි. ඉන් අනතුරුව ඇගේ ප්‍රථම සැබෑ පෙම්වතා ලෙස සම්බන්ධතාවය ඇති වන්නේ ජායි කුමරු සමඟ ය.

එක් අවස්ථාවක දී මොවුන් දෙදෙනා සමාජ ශාලාවකට යන අතර, මායා පිරිමි වේශයක් ගෙන එම ස්ථානයට යයි. එතැනට පැමිණෙන රාජ් සිං තවත් කුඩා දැරියක් සමඟ ලිංගිකව එකතු වීම සඳහා සූදානම් වනු දකින මායා සිත් තැවුලෙන් එතැනින් පැන දුවයි. ඇය අස් වසන ජායි කුමාර් ඇය හා ප්‍රේමයෙන් වෙලේ. රාජ් සිං සමඟ ලිංගිකව සම්බබන්ධ වන අවස්ථාවේ දී ඇගේ හැඟීම් මුදා හරින බවක් හෝ ඇය එයින් වින්දනයක් ලබන බව හෝ නොපෙන්වන නමුත්, ජායි කුමාර් හා ලිංගිකව සම්බන්ධ වන අවස්ථාවේ දී ඇය තමාට සිතැඟි පරිදි තම හැඟුම් මුදා හැරීමට සහ වින්දනයක් ලැබීමට කටයුතු කරන බව පැහැදිළි වේ.

රාජ් සිං සමඟ එකතු වන මොහොතේ දී නිරන්තරයෙන් ඔහු ඇයව පෙරලා ඇයට ඉහළින් සිටීමට උත්සාහ කිරීමෙන් මානවීය වශයෙන් ඇගේ හැඟීම් සිර කිරීම ද, සමාජීය වශයෙන් ඔහුගේ සමාජ භූමිකාව භාවිතයට ගන්නා බව ද පෙනේ.

නමුත් ජායි කුමාර් සමඟ ඇය ලිංගිකව සම්බන්ධ වන අවස්ථාවේ දී ඇතිවන ආලිංගන රංගනයේ දී ඔහු සහ ඇය මාරුවෙන් මාරුවට පුරුෂ භූමිකාව නිරූපනය කරමින් තම තෘප්තිය ළඟා කර ගනී. ඉන් පසුව ඔහුගේ උකුළ මත වාඩි වී මුහුණින් මුහුණ බලා සංයමයෙන් යුතුව ලබන වින්දනය ඔවුන් දෙදෙනා අතර පවතින ප්‍රේමාන්විත බව ඉස්මතු කරයි. අවසානයේ දී ඔහුගේ ඇඟ මත නැගී විනෝදාස්වාදයෙන් යුතුව හැසිරෙන ඇයගෙන් පිළිබිඹු වන්නේ, ලිංගිකත්වය, ප්‍රේමය සහ විනෝදකාමික්වය ඔහුගෙන් එකවර ලැබූ බවයි. ඉන් අනතුරුව එක් අවස්ථාවක දී රාජ් සිං, ජායි කුමාර් විසින් නෙලන ලද මූර්තියක් දකී. එහි සියඑ අංග ලක්ෂණ මායා ගේ බැවින් රාජ් සිං එය හඳුනා ගෙන ඒ කවුදැ යි ජායි කුමාර් ගෙන් විමසයි. ජායි කුමාර් ඈ පිළිබඳව රාජ් කුමාර්ට පවසයි. එවිට ඇයව මාළිගාවට රැගෙන එන ලෙස රාජ් සිං ප්‍රකාශ කරයි. ඇයව මාළිගාවට ගෙන් වූ රාජ් සිං නැවත ඇයගේ සුන්දරත්වය නරඹයි. ටාරා සහ ජායි කුමාර් ඉදිරියේ සිදුවන රාජ් සිං ගේ සහ මායා ගේ රංගනය නිසා ජායි සහ ටාරා අපහසුතාවයට හා මානසික සිත් තැවුලකට පත් වේ.

මායා ගේ උපදෙස් පරිදි ටාරා සහ රාජ් සිං එකතු වීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවේ. ඉන් අනතුරුව ජායි තුමාර් සහ මායා අතර සිදුවන ලිංගික සම්බන්ධයේ දී ආදරය, ලිංගිකත්වය ඉක්මවා ගිය විකෘති තත්ත්වයක් සමඟ බද්ධ වේ.

ඒ අතර තුර රාජ් සිං සහ ජායි කුමාර් අතර සිදුවන මල්ලව පොර තරඟයක් ද වරින් වර සිදුවන බව පෙනෙයි. මුල් අවස්ථාවේ දී ඔවුක් දෙදෙනාගේ සුහදකාමී තරඟයක් වන අතර මායා හා ජායි කුමාර් එක්ව සිටින අවස්ථාව රාජ් සිං විසින් දැකීමෙන් පසු වෛරයක් සමඟ මුසු වූ මල්ලව පොර තරඟයක් ද සිදු වේ. එහි දී රාජ් සිං ට දැඩි පරාජයන් අත් වේ. එසේ ම මායා සමඟ ජායි කුමාර් සිටින අයුරු ද දකී. ඉන් අනතුරුව රාජ් සිං විසින් ජායි කුමාර් ව සිර කරයි. ප්‍රේමයෙන් වෙළුනු මායා ඔහුව සොයා යයි. අවසානයේ දී ජායි කුමාර් මරා දැමීමට රාජ් සිං තීරණය කරයි.

තම ප්‍රේමවන්තයා බේරා ගැනීම සඳහා මායා බලහත්කාරයෙන් මෙන් රාජ් සිං සමඟ එකතු වීමට උත්සාහ කරයි. නමුත් එම උත්සාහය ව්‍යක්ත වෙයි. ඇය ටාරා හරහා ද උත්සාහ කරයි. එය ද ව්‍යක්ත වෙයි. අවසානයේ දී ජායි කුමාරයා වධ දී මරා දමයි. ආක්‍රමණික සෙබඑන් මාලිගාව ආක්‍රමණය කරන අතර, මායා ඇගේ තම ආධ්‍යාත්මික නිදහස ගැන ගැඹුරින් කල්පනා කර මාළිගාවෙන් පිට වෙයි. 


චිත්‍රපටයේ දාර්ශනික ප්‍රවේශය

වාත්ස්‍යායනගේ කාම සූත්‍රය පැරැන්නන් විසින් සැලකූයේ ආයුර්වේදයට අයත් ග්‍රන්ථයක් ලෙස වුව ද, ඒ තුළ සඳහන් ලිංගිකාවේග සහ ලිංගේන්ද්‍රයන් අතරෙහි පවත්නා විශමතා පදනම් කරගෙන ස්ත්‍රීන් සහ පුරුෂයන් වර්ග කිරීමත්, වාජීකරණ ආදී ඖෂධ සංයෝග පිළිබඳව සඳහන් කිරීමත්, එක් එක් වර්ගයන්ගේ ලිංගිකාවේ, සන්තර්පනය කිරීමත් පිළිබඳ ව සඳහන් වීම හේතු කොටගෙන ආයුර්වේද ග්‍රන්ථයකට වඩා මානවීය හැඟීම්, සමාජීය අවශ්‍යකාවයන් පිළිබිඹු කෙරෙන ග්‍රන්ථයක් ලෙස හැඳින්විය හැකි ය.

කාම සූත්‍රයේ සඳහන් වන පරිදි පංචාලයේ බාභ්‍රව්‍යයන් විසින් ඉදිරිපත් කල පළවන අංගය වූයේ සාධාරණාධිකරන හෙවත් ශාස්ත්‍රයන්හි සාරය දැක්වීමයි. කාම ශාස්ත්‍රය ඉගැන්වීම පිළිබඳ ව කාම සූත්‍ර චිත්‍රපටයේදී දක්නට ලැබෙන්නේ රස දේවි සම්බන්ධ සිද්ධි දාමයන් තුළදී ය.

දෙවන කරුණ වන සාම්ප්‍රයෝගීකාදීකරණ හෙවත් සහවාසයට සම්බන්ධ සියලු විස්තර ඉදිරිපත් කිරීම ද, චිත්‍රපටය තුළ දී රස දේවී විසින් දැරියන්ට උගන්වනු ලබයි.එසේ ම තෙවන කොටස වන කන්‍යා සම්ප්‍රමුක්තාධිකරණ බාල විවාහය හා එය හා බැඳුණ්‍රු පාප ක්‍රියා ද ස්වයංවර විධි ද විස්තර කෙරේ. කාම සූත්‍ර චිත්‍රපටය තුල ද රාජ් සිං සමාජ ශාලාවකට ගොස් කුඩා දැරියක් මුදලට ගැනීම සහ ඇය ස්පර්ශ කිරීම මෙහි එක් අවස්ථාවක් ලෙස ද, කාන්තාව සළුවකින් වසා ඇය ගේ අඟ පසඟ හඳුනා ගැනීමේ අවස්ථාවන් ද දැකගත හැකි ය. 

සිව් වන අවස්ථාව යටතේ දක්නට ලැබෙන භාරයාදිකාරීකරණ හෙවත් භාර්යාවක ගේ යුතුකම් ආදිය චිත්‍ර පටය තුළ ඉස්මතු වන්නේ රාජ් සිං වෙත පැමිණෙන ටාරා ගේ ස්වභාවයෙනි. ඇය රාජ් සිං සමඟ විවාහ වුව ද, ලිංගික කාර්යය සඳහා එක්වීමේ අපහසුතාවයකින් පෙනෙනු දක්නට ලැබෙයි. එයට හේතුව වූයේ රාජ් සිං මායා සමඟ සංවාසයෙහි යෙදීම ටාරා විසින් දැකීම යි. එය ටාරා මනෝ ව්‍යාධි තත්ත්වයකට පත් වීමට හේතුවක් වේ. මායා ගේ මඟ පෙන්වීම මත ටාරා විසින් නැවත රාජ් සිං සමඟ සංවාසය කිරීමට උත්සාහ කල ද එම අවස්ථාව ද ව්‍යක්ත වන්නේ ටාරා ගේ එම මනෝ ව්‍යාධි තත්ත්වය හේතු කොට ගෙන ය.

මෙහි පස් වන අවස්ථාව් දී දැක්වෙන පරදාරකාදීකරණය හෙවක් අනුන්ගේ බිරියන් ලබා ගැනීමට යොදාගනු ලබන උපක්‍රම මෙම චිත්‍රපටයේ ද දක්නට ලැබේ. මායා ව තම මතයට නතු කර ගැනීමට රාජ් සිං විසින් යොදාගනු ලබන උපක්‍රම එයට නිදසුන් ය.

හය වන කොටස යටතේ ඉදිරිපත් වන වෛශිකාදීකරණය හෙවත් ගණිකාවන් හා ස්ත්‍රීන් කරා යන්නවුන් පිළිබඳව ද චිත්‍රපටය තුළ දක්නට ලැබෙයි. රාජ් සිං සමාජ ශාලාවට යන අවස්ථාවේ දී ඔහු සමඟ සිටි සගයන් වෛශ්‍යාවන් ඇසුරු කරන අවස්ථාව එසේ හදුන්වා දිය හැක.

කාම සූත්‍රය අවසාන වශයෙන් ඉදිරිපත් කරන ඖපනිෂධකාදිකරණ හෙවත් වශීකරණ සහ වාජීකරණ ආදිය සම්බන්ධ රහස් උපක්‍රම චිත්‍රපටය තුළ දී ඉදිරිපත් වන්නේ, මායා සමඟ ජායි කුමාර් සංවාසයෙහි යෙදෙන අවස්ථාවේ ඔහු විසින් ඇගේ මුවට වාජීකරණ ඖෂධ ඇතුළත් කිරීම ද, මායා සමඟ රාජ් සිං සංවාසයේ යෙදෙන අවස්ථාවේ දී ඔහු තම දිවේ වාජීකරණ ඖෂධ තවරා ගැනීමෙනි.

වාත්ස්‍යායනගේ කාම සූත්‍රයේ චුම්බන විකල්ප ප්‍රකරණය තුළ සඳහන් ඔට්ටු අල්ලා තොල් සිප ගැනීමේ ක්‍රීඩාව චිත්‍රපටය තුළ ද භාවිත කරයි. එහි දී මුලින් ම තොල් අල්ලා ගත් අයට ජයත් අනෙකාට පරාජයත් අත් වේ. තොල් සිප ගැනීමේ ක්‍රීඩාවෙන් පරාජයට පත් යුවතිය, පුරුෂයා තොල් අල්ලා ගැනීම වලකනු පිණිස ඒ මේ අත මුහුණ හරවයි. මෙම ක්‍රමවේදය රාජ් සිං සහ මායා සංවාසයේ යෙදීමට ප්‍රථම සිදුකරනු දැකිය හැක.


මනෝ විද්‍යාත්මක ප්‍රවේශය

මනෝ විද්‍යාත්මක ප්‍රවේශය යටතේ මායා ගේ චරිතය විග්‍රහ කරන විට චිත්‍රපටය පුරාම දිවෙන විවිධ සිදුවීම් සමඟ ඇගේ මනස ක්‍රියා කරන ආකාරය විමසිය යුතු ය. මෙම චිත්‍ර පටයෙහි කතා වින්‍යාසය ප්‍රධාන වශයෙන් ම ගොනු වී ඇත්තේ කාමාග්නිය මුල් කොට ගෙන ය.මායා කන්‍යාවියක ලෙස චිත්‍ර පටය තුළ මුල්ම අවස්ථාවන් වල දී ඇගේ කෙලිළොල් ස්වභාවයක් දක්නට ලැබිණි. බික්‍රම් කුමරු සමඟ කෙළිදෙලෙන් පසුවන ආකාරයෙන් එය පැහැදිලි වේ.                                                                                                                                                  දෙවන අවස්ථාවේ දී ඇය රාජ් සිං සමඟ සංවාසය කිරීම සඳහා සූදානම් වන මොහොතේ මනෝමය ස්වභාවය වූයේ ඇගේ කැමැත්තකට වඩා රාජ නියෝගයක් මත ඇති වූ බිය ජනක තත්ත්වයකි. ඉන් පසුව එන සිද්ධීන් වල දී ඇය යම් තැම්පත් ලීලාවකින් සිටිනු දක්නට ලැබේ. එසේ ම අවට සමාජයට ඇති බිය ජනක ස්වභාවයක් ඇගේ මනස තුළ ක්‍රියාත්මක වන බව සියලු ක්‍රියාවන්හි දී දක්නට ලැබේ.

තුන් වන අවස්ථාවේ දී ජායි කුමාර් මුණ ගැසීම සහ ඔහු සමඟ ප්‍රේමයෙන් වෙලීම සහ ඇගේ හැඟීම් මුදා හැරීම දැකගත හැකි ය. එහි එක් සිද්ධියක දී ජායි කුමාර් පිළිම නෙළන ස්ථානයට ඇය විසින් ආහාර රැගෙන ඒමේ අවස්ථාවේ දී ජායි කුමාර් ගේ සිත තුළ ඇය පිළිබඳ ව යම් හැඟීමක් ඇති වීම සඳහා විශේෂ ඉරියව්ල නිරූපනයන් ඉදිරිපත් කරයි. ජායි තුමාර ගේ සිතේ ඇය පිළිබඳ ආකල්පයක් මෝදු වීම රූපකයක් වශයෙන් වද මලක් ඇගේ සිරුර පුරා ස්පර්ශ කිරීමෙන් පිළිබිඹු කරයි. ඉන් පසු ඇගේ මනස විවෘත වන්නේ ජායි කුමාර් සමඟ ප්‍රේමයෙන් වෙලීමටයි. ඇය ජායි කුමාර් සමඟ සංවාසයේ යෙදෙන්නේ ද තම සිතැඟි මුදුන් පමුණුවා ගැනීමේ ස්වරූපයෙනි.

සිව් වන අවස්ථාවේ දී ඇගේ මනස ක්‍රියාත්මක වනනේ රාජ් සිං ඇයව බලෙන් තමා වෙත නතු කර ගැනීමේ අවස්ථාවේ දී ඇගේ මනස ක්‍රියාත්මක වූ ස්වභාවය යි. එහි දී ජායි කුමාර් ට ඇති ආදරය සමඟින් ම ඇයට රාජ් සිං සමඟ සංවාසයෙහි යෙදීමට සිදු වේ. එහි දී ඇගේ සිත තුළ ඇති වන මානසික කම්පනය අවස්ථා කිහිපයක දී ම ඉස්මතු වේ. රාජ් සිං ව ප්‍රතික්ෂේප කරන ඇය ජායි කුමාර් සමඟ එක් වීම රාජ් සිං දැනගත් මොහොතේ ම ජායි කුමාර් ට දඬුවම් ලබා දීම, ඇගේ මානසිකත්වය වෙනත් මඟකට යොමු වීමට මඟ පාදයි. ජායි කුමාර් ව එළිමහනේ සිරකොට තැබීම සමඟ ම මායා ආවේගශීලී තැනැත්තියක් බවට පත් වේ. ඇය තමා ගේ හිස කෙස් කපා දැමන්නට යැයි ජායි කුමාර් ගෙන් ඉල්ලීමක් කරන්නේ ද එම ආවේගශීලීත්වයත් සමඟිනි. ඇගේ පවතින මානසිකත්වයෙන් සන්නිවේදනය වන්නේ ජායි කුමාර් ට පමණක් පිදිය නොහැකි තම රූ සපුව රාජ් කුමාර් ට ලබා දෙන්නේ කුමටද යන්න හඟවන්නාක් මෙනි.

ඉන් පසු ව ඇය රාජ් සිං අසලට පැමිණෙන්නේ යම් ගනුදෙනුවක් සඳහා ය. ඒ තමා සමඟ සංවාසය කොට හෝ ජායි කුමාර් බේරා දෙන ලෙස කරන ඉල්ලීමත් සමඟිනි. නමුත් රාජ් සිං එම අවස්ථාවේ දී එයට එකඟ නොවී ජායි කුමාර් මරා දමයි. ඉන් පසු ඇය මානසික ව්‍යාකූලත්වයට පත් වූ කාන්තාවක ගේ ස්වරූපය නිරූපනය කරයි. ඇය මාළිගය අතහැර යයි.

මෙම චිත්‍රපටය තුළ මායා ගේ චරිතයෙන් ඉස්මතු වන මානසික ස්වභාවය ඉහත ආකාරයෙන් එක් එක් අවස්ථාවන් වල දී විවිධාකාර ස්වභාවයන් ගන්නා බව පැහැදිළි වේ.


සංස්කෘතිකමය ප්‍රවේශය

16 වන සියවසේ ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩු වල ස්වරුපය ඉස්මතු වන කාම සූත්‍ර චිත්‍රපටයේ එක් එක් චරිත නියෝජනය කරනු ලබන සමාජ පරාසයන් තුළ ට කිඳා බසිමින් සිද්ධි ගොනු කරනු ලබයි. රාජකීයයන් ගේ සංස්කෘතියේ ස්වභාවය, සේවිකාවන් ගේ ස්වභාවය, මැති ඇමති වරුන් ගේ ස්වභාවය, නාටිකාංගනාවන් ගේ ස්වභාවය සහ රාජ්‍ය වෛශ්‍යාවන් ගේ සමාජීය හා සංස්කෘතිත ස්වභාවයන් මේ තුළින් ගෙන හැර පායි. රාජ් සිං ගේ චරිතයෙන් රජු ගේ තත්ත්වය නිරූපනය වන අතර තමා ට අවශ්‍ය වන ඕනෑ ම ‍දෙයක්, ඕනෑ ම කෙනෙකු කෙසේ හෝ ලබා ගැනීම ඔහු ගේ චරිතයෙන් නිරූපනය වේ.

රාජ සැප සම්පත් කොපමණ තිබුණ ද ආදරය සහ ආශාව පිළිබඳ භීතිකාවකින් පෙළෙන අග මෙහෙසියක ගේ තත්ත්වය නිරූපනය කරන්නේ ටාරා නම් චරිතය යි. එම සංස්කෘතියේ තිබූ චරිත ගණනාවක් වන සේවිකාවක ගේ, නාට්‍යාංගනාවක ගේ, අන්තපුර  කාන්තාවක ගේ, පෙම්වතියක ගේ, වැන්දඹුවක ගේ සහ මානසික රෝගියකු ගේ චරිතයන් නිරූපනය කරන මායා නම් තරුණිය විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරයි.

  ජායි කුමාර් නම් ගල් වඩුවා තම මූර්ති සඳහා අරමුණු කරගත් තරුණියක් ලෙස මායා ව යොදා ගන්නා අතර පසුව ඇය ඔහු ගේ පෙම්වතිය බවට පත් වේ. සංස්කෘතිය තුළ සාම්ප්‍රදායක සිරිත් අනුව විවාහ නොවුන ද ගාන්ධර්ව විවාහය මඟින් විවාහ ගිවිස ගන්නා ඔවුන් දෙදෙනා සංස්කෘතිය මත පදනම්ව බිරිඳ ගේ සහ ස්වාමියා ගේ යුතුකම් සහ වගකීම් වෙනුවෙන් පෙනී සිටී. නිදසුනක් ලෙස රාජ් සිං විසින් මායා ව තමා වෙතට රැගෙන එන ලෙස ජායි කුමාර් ට අණ දුන් පසු ජායි කුමාර් එය රාජ අණක් නිසා මායා ව රාජ මාළිගාව ට රැගෙන යන මුත් කිසිම මොහොතක ඇයව තනි නොකරයි.මායා ගේ ආදරය තමා වෙතට ලබා ගත නොහැකි වූ රාජ් සිං, ජායි කුමාර් ව මුලින් සිර කර පසු ව මරා දැමීමට තීරණය කිරීමෙන් පසු ඔහුව බේරා ගැනීම සඳහා ඇයට ගත හැකි සෑම උත්සාහයක් ම ගනී. අවසානයේ දී රාජ් සිං සමඟ නිදි වැදීමට පවා ඇය එකඟ වෙයි.

මෙසේ එම ඉන්දියානු සංස්කෘතිය තුළ පැවතුණු සංස්කෘතිකාංග අතර නාට්‍යශාලා, සමාජ ශාලා, ස්වයංවර ආදී අංගයන් ද චිත්‍රපටය තුළින් ගෙන හැර දක්වයි.


මානව විද්‍යාත්මක ප්‍රවේශය

කාම සූත්‍ර චිත්‍රපටයේ මානවීය ගුණාංග සන්නිවේදනය වන ආකාරය සාකච්ඡා කිරීමේ දී වාත්ස්‍යායන විසින් ඉදිරිපත් කළ කාමාග්නිය පිළිබඳ සියලු ගුණාංග සෑම දර්ශන තලයකම අඩු වැඩි වශයෙන් පිළිබිඹු කොට තිබේ. කතාව ආරම්භයේ කුඩා දැරියන් දෙදෙනෙකු ජලය තුළ සිට විවිධ රති කාම රංගනයන් හි ස්වරූපයන් ඉදිරිපත් කිරීම, ළදැරි වියට පත් වන ඔවුන් ගේ ප්‍රධාන චරිත දෙකක් විශේෂයෙන් ඉස්මතු කර දැක්වීම හා රති කාම දේවී විසින් ටාරා දැරියට වැඩි සැළකිල්ලක් යොමු කිරීම සහ ඒ දෙස බලා සිතින් වින්දනයක් පමණක් සිදු කරන මායා ගේ චරිතයෙ හි විශේෂත්වයක් දැකිය හැක.

එම රංගනය ටාරා විසින් ඉදිරිපත් කරනු ලබන්නේ බල කිරීමකට කරනු ලබන ක්‍රියාවක් ලෙස වුව ද මායා විසින් ස්ව කැමැත්තෙන් ඉතා අලංකාර ලෙස ඉදිරිපත් කරයි. මෙයින් සන්නිවේදනය වන මානවීය ස්වභාවය වන්නේ සියලු සැප සම්පත් හිමි වීම නිසා කාම රංගනයේ විශේෂත්වයක් හෝ අවශ්‍යතාවයක් නොදැනෙන ටාරා ගේ ස්වභාවය සහ එම කාම රංගනය තම අනාගත ජීවිතයේ ප්‍රධාන වෘත්තිය කර ගැනීමට සිය උපරිම හැකියාව පෙන්නුම් කරන මායා ගේ ස්වභාවය යි.

රාජ සැප සම්පත් දැක ගනිමින් ඒවා දෑසින් පමණක් වින්දනය කිරීම උරුම කරගත් මායා රාජ් සිං සමඟ සංවාසය කිරීමට යෝජනා ලැබීමේදී යම් චකිතයක් ඇති මුත් සිත තුළ පවතින සියුම් වින්දනයක් පෙන්නුම් කරයි. රාජ් සිං ඇගේ සළු පිළි ඉවත් කිරීමේ දී පවා එම චකිතය හා ලැජ්ජාව සමඟම මානවීය හැඟීම ඉස්මතු වන වින්දනීය තත්ත්වයකට පත් වෙයි. එම අවස්ථාවෙන් පසු ටාරා ගේ මව ඇයව මාළිගා සීමාවෙන් පන්නා දමන අවස්ථාවේ දී ඇය මවගෙන් ආයාචනයක් කරන්නේ රාජ අණ නිසා සිදු වූ දෙයට තමා කුමක් කරන්නට ද යනුවෙන් අසන්නාක් මෙනි.

රාජ් සිං ටාරා සමඟ සංවාසයේ යෙදෙන පළමු අවස්ථාවේ දී ඇති වන බහින් බස් වීමේ දී රාජ් සිං මායා පිළිබඳ ව ප්‍රකාශ කරයි. එහි දී ටාරා ගේ සිත තුළ ඇති වන ජුගුප්සාජනක තත්ත්වයක් නිසා ඇයට එම අවස්ථාව කරදරකාරී තත්ත්වයක් පිළිබිඹු කරයි. මානවීය ගුණාංගයක් ලෙස ටාරා ගේ එම අවස්ථාවේ මනස ක්‍රියාත්මක වන ආකාරය විග්‍රහ කිරීමේ දී ලිංගික එක් වීමක් සඳහා ජෛවීය අවශ්‍යතාවයට වඩා මානවීය සමිබන්ධතාවය වැදගත් බව ඇගේ ක්‍රියා වලින් ඉස්මතු වේ.

 ජායි කුමාර් පිළිම නෙළන ස්ථානයට යන මායා ඒ දෙස බලා සිටින විට ජායි කුමාර් ඇගේ මුහුණ ස්පර්ශ කර දෑත ක්‍රම ක්‍රමයෙන් පපු පෙදෙස ට ගෙන යන විට ඇය නුරුස්නා ස්වභාව‍යෙන් ඔහු දෙස බලා එතැනින් පැන දුවයි. නමුත් ඒ තුළ පැවතියේ අකැමැත්තක් නොව සාමාන්‍ය ස්වභාවයට වඩා එහා ගිය බැඳීමකින් ඔහු හා එක් වන්නේ නම් මීට වඩා සුන්දර ලෙස විඳිය හැකි ආකාරයකින් එය සිදුවිය යුතු බව ඇගේ මුහුණෙන් පිළිබිඹු කරමිනි.

ඉන් පසු අවස්ථාවේ දී කුඩා දරුවන් දෙදෙනකු සේ  ජායි කුමාර් සහ මායා කෙළිදෙලෙන් පසු වනු දැකිය හැකග එසේ කිරීමට වැඩි නැඹුරුතාවයක් දක්වන්නේ මායා යග එමඟින් ජායි කුමාර් ගේ ප්‍රේමය හඳුනා ගැනීමට ඇය උත්සාහ කරන ආකාරයක් දක්නට ලැබේ. ඉන් පසු මායා, ජායි කුමාර් සමඟ සමාජ ශාලාවකට ගිය පසු එහි දී රාජ් සිං කුඩා දැරියක් මිළ දී ගැනීම දැකීමත් සමඟ තමා පිළිබඳව ම අතිශය කම්පනයකටපත් වේ. ඒත් සමඟ ම සිතේ ඇති වන වික්ෂිප්ත භාවයෙන් ම ඇය එතැනින් පැන දුවයි. ඇගේ මනස ක්‍රියාත්මක වන්නේ ද එම කුඩා දැරියගේ අසරණභාවය මෙනැ යි පැහැදිළි වේ. රාජ් සිං සමඟ එක් වීමේ දී ඇගේ සළු ඉවත් කළේ රාජ් සිං වුව ද, ජායි කුමාර් සමඟ එක් වීමේ දී ඇය විසින් ම තම සළු පිළි උණා දමයි. එයින් පැහැදිළි වන්නේ ‍ප්‍රේමයෙන් වෙළෙමින් සංවාසයේ යෙදීමට ඇගේ සිත තුළ පවතින කැමැත්තයි.

ඉන් පසු ජායි කුමාර් අසළ සිටින විටම මායා ට රාජ් සිං සමඟ සංවාසයේ යෙදීමට අණ ලැබුන ද ඇය එය ප්‍රතික්ශේප කරයි. ඒ ඇගේ සිත කාමාශාවකය එහා ගිය ප්‍රේමනීය තත්ත්වයකට ජායි කුමාර් සමඟ ගොඩනැගී තිබූ හෙයිනි.

ඇය ජායි කුමාර් සමඟ නැවත සංසර්ගය කරන විට ඔහුගේ පිට නියපොතු වලින් සූරමින් විකෘති ආලිංගන රැඟුමක යෙදේ. එසේ විකෘති ආලිංගනයෙන් මතු වන ස්වභාවය වන්නේ, ඇය ජායි කුමාර් සමඟ එක් වීම ට ඇති අවස්ථාව රාජ් සිං විසින් උදුරා ගැනීම නිසා ඇති වූ වෛරී සිතුවිල්ලකි.

අවසානයේ දීල ජායි කුමාර් සිර කරුවකු කළ පසු ඇයගේ බිහිසුණු ස්වභාවය සියලු සිදුවීම් තුළින් ඉස්මතු කර දක්වයි. අසරණ වූ විට තමා පිළිබඳවම පමණක් විශ්වාසයක් ඇති වීම, තමා ගේ සිතැඟි මත ම ක්‍රියාත්මක වීම මෙන් ම ඇය හිසකෙස් කපා දැමීමෙන්, ජායි කුමාර් බේරා දෙන ලෙස ටාරා ගෙන් ඉල්ලීමක් කිරීමෙන්, ටාරා ට කාම ශාස්ත්‍රය පිළිබඳ ඉගැන්වීමෙන් සහ අවසානයේ දී රාජ් සිං සමඟ සංවාසයේ යෙදීමට කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් පිළිබිඹු වේ. නමුත් එම සියලු ක්‍රියාවන් ඇගේ කැමැත්තෙන් සිදු නොවූ බව චරිතයේ හැඟීම් ප්‍රකාශය මත ඉස්මතු වේ.

ජායි කුමාර් ව මරා දැමූ පසු ඇගේ මනස පැවති විකෘති ස්වභාවයෙනු ත් එහා ගිය මනෝ ව්‍යාධි තත්ත්වයකින් ගමන් කරනු දැකිය හැක. මෙම චිත්‍රපටය පුරා මායා ගේ චරිතය ආශ්‍රිතව දැකිය හැකි මානවීය ස්වභාවයේ සන්නිවේදනාර්ථ ඒ ආකාරයෙන් විග්‍රහ කළ හැක.


නවෝදිකා සුභාෂිණි

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

කැලණිය




No comments:

Post a Comment

මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳ ඔබ දැනුවත් ද?

  මැදහත් බවින් යුතුව යමක් දෙස බැලීම මාධ්‍යයේ භූමිකාවයි. ඒ තුළින් ලබා දෙන සංදේශය නිවැරදි ලෙස වටහා ගැනීමට ඇති හැකියාව මාධ්‍ය සාක්ෂරභාවයෙන් යුත...