ශ්‍රී ලංකාව අතීතයේ සිට විවිධ නම් වලින් හඳුන්වා ඇත. පෙරදිග මුතු ඇටය, සිරිලක, තම්බපන්නි, තැප්රෝබේන් ආදී නම් වේ. මීට අමතරව රත්නදීප යනුවෙන්ද හඳුන්වා ඇති අතර, එලෙස හඳුන්වා ඇත්තේ ලංකාවේ ඇති මැණික් කර්මාන්තය නිසා විය හැක. ශ්‍රී ලංකාව අතීතයේ සිට මැණික් සම්බන්ධයෙන් ඉමහත් කීර්තියක් දරා ඇත. ඒ බව විවිධ මූලාශ්‍ර වලින් හෙලිවේ. ලංකාවේ දිස්ත්‍රික් බෙදීම් අතර රත්නපුර දිස්ත්‍රික්කයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. භූගත ඛණිජ සම්පතක් වශයෙන් මැණික් සුලභවීම ඊට එක් හේතුවකි. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, නිවිිතිගල, කලවාන, කහවත්ත, පැල්මඩුල්ල, බලංගොඩ, ඔක්කම්පිටිිය, හොරණ, අවිස්සාවේල්ල, පොළොන්නරුව, මාතලේ, කතරගම, ආදී පළාත් මැණික් සඳහා ප්‍රසිද්ධ ය.
මැණික් යනුවෙන් සඳහන් කරනුයේ භූගතව පවත්නා දුර්ලබ දැඩි සංයුතියකින් යුතු ආකර්ශණීය වර්ණ සහිත ඉතා වටිනා පාෂාණ විශේෂයකි. රත්නයක් වූ ගල මාණික්‍ය රත්නය ආදී නම්වලින් විවිධ ශබ්දකෝශකරුවෝ මෙය හඳුන්වනු ලබති.
1. අලංකාරය
2. චිරස්ථිතිය
3. දුර්ලභත්වය
යන ගුණාංග හේතු කොටගෙන වෙනත් ඛණිජ වර්ග වලින් මෙය වෙනස් වේ.
ලංකාවේ මැණික් පිළිබදව විමසා බලන කල ඈත අතීතයේ සිට මැණික් පිලිබඳව විවිධ පුරාවෘත්ත හා ජනප්‍රවාද ගත තොරතුරු දක්නට ලැබේ. රාවණ රජුගේ මාලිගාවේ බිත්ති වල වටිනා මැණික් ඔබ්බවා විසිතුරු කර තිබූ බව කියැවේ. චූලෝදර මහෝදර නා රජුන් අතර පැවති අරගලයට පාදක වූයේද මැණික් පුටුවකි. සමනල කන්දේ බුදුන්වහන්සේගේ ශ්‍රී පතුල පිහිටුවා ඇත්තේද මැණික් මත බව ඉතිහාසයේ සඳහන් වේ. විජය රජු මධුරාපුර කුමරිය රැගෙන ඒමට පෙර දේවානම්පියතිස්ස රජු අශෝක අධිරාජ්‍යයා වෙතද තුටුපඩුරු ලෙස ශ්‍රී ලාංකික මැණික් යැවූ බව මහාවංශය සඳහන් කරයි. දුටුගැමුණු රජු රුවන්වැලිසෑය තැනීමේදීි නිදන්වස්තු ලෙස මැණික් තැම්පත් කල බව ථූපවංශයේ සඳහන් වේ. ක්‍රි.ව. පස්වන සියවසේදී මෙරටට පැමිණි චීනජාතික පාහියන් හිමි සිය වාර්තා වල ලංකාවේ මැණික් සුලභව තිබූ බවට වාර්තා කොට ඇත. එසේම ක්‍රි. ව. දාහත්වන සියවසේදී මෙරට විසූ රොබට් නොක්ස් නම් ඉංග්‍රිසි ජාතිකයාද මෙරට මැණික් තිබූ බවත්, ඒවා අපනයනය කල බවත් එදාහෙළදිව ග්‍රන්ථයේ සඳහන් කොට තිබේ. මේ අනුව පුරාවෘත්ත සහ ජනප්‍රවාද විමසා බැලීම තුළ මැණික් භාවිතාව දක්නට ලැබෙන නමුත් කර්මාන්තයක් ලෙසට ආරම්භ කරන ලද්දේ මොරොක්කෝව නම් රටේ සිට පැමිණි මුක්කරු නම් ජන කණ්ඩායම විසින් බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මේ මුක්කරුන් ඉන්දියාව ප්‍රදේශයේ පිරිසක් බවත්, යම් යම් මූලාශ්‍ර සාක්ෂි දරයි. කෙසේ නමුත් මැණික් පතල් කැපීම කර්මාන්තයක් ලෙසට මෙම මුක්කරුන් විසින් ආරම්භ කොට ඇති බව පැහැදිලිය. රත්නපුර ප්‍රදේශය මූලික කොට ගනිමින් මොවුන් මැණික් පතල් කැපීම ආරම්භ කොට ඇත. ඒ පිළිබද ඉතිහාස කතාවක්ද ජනප්‍රවාදයේ පවතී.
මැණික් කැණීම සදහා පැමිණි මුක්කරුන් මුලින්ම සබරගමු පළාතට අධිපති යැයි සලකන සමන් දෙවියන්ට භාරයක් වී ඇත. එනම් මැණික් කැණීමෙන් වාසියක් වුවහොත් මැණික් නැව් හතකින් සමන් දෙවියන්ට පූජා කොට බාරය ඔප්පුකරන බවට පොරොන්දු වීමයි. දේව විශ්වාසය සහ දෙවියන්ගේ ඇල්ම බැල්ම පිළිබදව අධික විශ්වාසයක් තබාගෙන කරන ලද වෘත්තියක් නිසා මෙලෙස බාරවී ඇත. කෙසේ නමුත් මෙලෙස මැණික් කැණීම තුළින් ප්‍රාර්ථනා කල පරිදි මැණික් ලැබී වාසි වී ඇති නමුත්, ඔවුන් පොරොන්දු වූ බාරය නියමිත පරිදි ඔප්පු කොට නොමැත. එනම් මැණික් නැව් හත වෙනුවට කට්ට ලෙසින් හදුන්වන එතරම් වටිනාකමකින් තොර ගල් නැව් හතකින් බාරය ඔප්පුකොට ඇත. මෙය දෙවියන් රැවටීමකි. ඒ අනුව එම කරන ලද බොරුව නිසා මුහුද මැදදී මැණික්ද රැගෙන මොවුන් යන නැව පෙරලී සියලු දෙනා මියගොස් ඇති බව සඳහන් වේ. මුක්කරුන් විශාල පිරිසක් මෙලෙස ලංකාවට පැමිණ මැණික් කැණීම සිදුකොට ඇති අතර ලංකාවේදී මියගිය පිරිස් වලදමන විට ඔවුන්ට අයිති මැණික් එම සොහොනට දමා මිහිදන් කොට ඇති අතර නූතනයේදී මුක්කරු සොහොනක් සොයගත හැකි නම් යහමින් මැණික් ගැරිය හැකි බවට පුද්ගලයන් අතර පවතින විශ්වාසයට අනුව එය සත්‍යක්යැයි ගම්‍යමාන වේ.
මුක්කරුන් දැඩි දේව භක්තිකයින් ලෙස සැලකේ. එසේම මැණික් කර්මාන්තයද ඇදහිලි විශ්වාස පදනම් කොටගත් කර්මාන්තයක් වේ. මෙම ඇදහිලි විශ්වාස පුද සිරිත් තම මුක්කරුන්ගෙන්ම පැවත ගෙන එන්නේදැයි නිශ්චිත තොරතුරු නැතත් ඔවුන්ද පතල් කැණීමට පෙරාතුව දෙවියන්ට බාරහාර වීම, පහන් දැල්වීම, සුභ නැකැත් භාවිත කිරීම ආදිය සිදු කරන්නට ඇත. ඒ අනුව පතල් කැණීමට ස්ථානයක් තෝරාගැනීමේ සිට මැණික් ගල් කපා ඔපමට්ටම් කිරීම දක්වාම එකී සංස්කෘතිය හා බද්ධව පැවත එන ඇදහිලි විශ්වාස පුද සිරිත් ආදිය නූතනයේදීද දක්නට ලැබේ. මෙහිදී පොළොවට අරක් ගෙන ඇතැයි සැලකෙන බහිරව සංකල්පය හා කත් පළාතට අධිගෘහිත දෙවියන් පිළිබදව පවත්නා දැඩි විශ්වාසය කැපී පෙනේ. මුලින් සඳහන් කරන ලද මුක්කරුන් විසින් සමන් දෙවියන්ට මැණික් නැව් 07 ක් බාරවීම තුළින් එය මනාව පැහැදිලි වේ. මේ අනුව සලකා බැලීමේදී පතල් කර්මාන්තය සිරිත් විරිත්, ඇදහිලි විශ්වාස, පුද සිරිත් පදනම් කොට ගනිමින් සිදුකරනු ලබන බව පැහැදිලිය.
අතීතයේදී මුක්කරුන් විසින් ඇති කළ සිරිත් විරිත් වලට යමින් නූතනයේදී ඊට තරමක් වෙනස් ආකාරයේ පුද සිරිත් භාවිතා කොටගෙන පතල් කර්මාන්තය සිදු කරනු ලබයි. ඒ ඒ ප්‍රදේශයට අධිගෘහිත දෙවි දේවතාවුන්ට භාර හාර වීමට අමතරව පතල් කර්මාන්තයේදී අදෘශ්‍යමාන බලවේග හෝ පුද්ගල කොටස් ඊට අරක් ගෙන ඇතැයි පතල් කරුවෝ විශ්වාස කරති. (අතීතයේ පතල් තැනූ මුකක්කරුන් අරක්ගෙන ඇතිබව බොහෝ දෙනාගේ මතයයි.) එකී තත්ත්වයන්ගෙන් ආශිර්වාදය පිහිට ලබා ගැනීම උදෙසා විවිධ චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කෙරේ. එනම්,
1. පතල් හිමියාගේ ජන්ම පත්‍රය පරීක්‍ෂා කිරීම
2. සුභ හෝරාවක් තෝරා ගැනීම
3. අංජනම් බැලීම
4. බාරහාර වීම
5. දෙවියන් උදෙසා පහන් දැල්වීම
6. පූජාවන් තැබීම
ආදී ක්‍රමෝපායන් භාවිත කරනු ලබයි. මෙකී සෑම පුද සිරිතකින්ම බලාපොරොත්තු වූයේ වටිනා මැණික් ලබා ගැනීමයි. මැණික් පතලක් කැපීම සදහා ඉහත ක්‍රමෝපායන් අනුගමනය කොට ඉඩමක් තෝරාගැනීමෙන් අනතුරුව තෝරාගත් භූමිය සදහා වෙනමම වත් පිළිවෙත් අනුගමනය කරයි.
1. බහිරව පූජා 2. රාහු පූජා
3. දේව පූජා 4. බෝධි පූජා
5. දෙහි කැපීම 6. නවග්‍රහා පූජාව
7. කුමාර දානය දීම 8. කිරි අප්පා දානය දීම
යන මෙකී පූජා සිදු කිරීම මඟින් අදාළ භූමියේ දොස් අරවා ගෙන මැණික් කැපීමට අවශ්‍ය පසුබිද සකසා ගනී. මෙහදී පතල් කර්මාන්තයට විශේෂ වූ පුජා ක්‍රම ලෙස කුමාර දානය දීම හා කිරිඅප්පා දානය දීම හැඳින්විය හැකිය. කුමාර දානය ලෙස සඳහන් කරනුයේ පතලයක ඉල්ලම් ගැනීමෙන් පසු එම ඉල්ලම් ගැනීමට ප්‍රථම පතල් භූමියේ සිදුකරන දානමය කටයුත්තකි. මෙයට වයස අවුරුදු 10ත් 12ත් අතර පිරිමි ළමුන් යොදා ගැනීම සිරිතකි. දානය ද’මට පෙරදින රාත්‍රියේද’ හෝ එදිනම උදෑසන මෙලෙස දරුවන් සත් දෙනෙකු හෝ දාහතර දෙනෙකු පතල් භූමිය වෙත කැදවාගෙන එනු ලබන අතර ඔවුහු සුදු පැහැති වස්ත්‍රවලින් සැරසී සිටිය යුතුය. ප්‍රථමයෙන් පතල් භූමියේ තනනු ලබන මල්පැල කතරගම දෙවියන් ප්‍රමුඛ සමන්, නාථ, විෂ්ණු, පත්තිනි යන දෙවියන් උදෙසා මල් පහන් හා කැවුම්, කිරිබත්, ඉදුණු කෙසෙල් සහිත පූජා වට්ටියක් පුදනු ලැබේ. විශේෂත්වය වන්නේ මෙම කැවිලි වර්ග පතල් භූමියේදී පුරුෂ පක්‍ෂය විසින්ම සකස් කරනු ලැබීමයි. අනතුරුව පතල් වාඩියේ එලන ලද පැදුරක් මත දරුවන් වාඩිකරවා, තෙරුවන් වැඳ, දෙවියන්ට පින් දී, කුමාර යාදින්න ලෙස සඳහන් කරනු ලබන කතරගම දෙවියන් හා සම්බන්ධ කන්නලව්ව දේවාලයක කපු මහතා විසින් ගයනු ලැබේ. අනතුරුව මියගිය ඥාතීන්ට පින් පමුණුවා කැවිලි වර්ග දරුවන්ට බෙදා දී අනුභව කිරීමට කටයුතු කරයි. මේ සදහා පැමිණෙන ළමුන්ට විශේෂ ත්‍යාගද පිරිනමනු ලැබේ. කුමාර දානය සාමාන්‍යයෙන් කුඩා දරුවන් උදෙසා දෙනු ලබන දානමය කටයුත්තක් ලෙස හැදින්වුවද එය වූ කලි වටිනා මැණික් ලබා ගැනීම සඳහා කතරගම දෙවියන් උදෙසා පවත්වන පුද පූජාවක් ලෙස හැඳින්විය හැකිය.
කිරිඅප්පා දානය නමින් හැදින්වෙන පුජා කර්මයද මැණික් පතල් සම්බන්ධ දානමය කටයුත්තකි. ඇතැම් විට ගෘහ ආශ්‍රිතවද මෙම චාරිත්‍රය පැවැත්වේ. පතල් ආශ්‍රිතව දානය පැවැත්වීමේදී ඉල්ලම් ගොඩ දැමීමට පෙර මෙය පවත්වන අතර ඒ සදහා වයස අවුරුදු 60ත් -70ත් අතර පිරිමින් සත් දෙනෙකු සහභාගී කරගනු ලැබේ. ඒ සඳහා සුරා සූදුවෙන් තොර දැහැමි ජීවිත ගත කරන පුද්ගලයින් තෝරා ගැනීම සාමාන්‍ය සිරිතයි. මෙහිදී අවශ්‍ය පූජා ද්‍රව්‍ය වශයෙන් කැවුම්, කෙසෙල්, කිරිබත් ආදිය පතල් වලෙහිම සකස් කරගනු ලබන්නේ පුරුෂ පක්‍ෂය විසිනි. ප්‍රථමයෙන් පතල් සීමාව ගොක් රැහැන් ඇද වෙන් කරනු ලබන අතර පතල් භූමියෙහි මල් යහනක් තනනු ලැබේ. කහ දියර ඉස භූමිය පිරිසිදු කොට කිරි අප්පාවරු කැඳවාගෙන එනු ලබන්නේ හිමිදිරි පාන්දරය. අනතුරුව මල්පැල් වලට මල්මාලා දමා පහන් පත්තු කොට සමන් දෙවියන් වෙනුවෙන් ස්ත්‍රෝත්‍ර හා කතරගම දෙවියන් උදෙසා දේව දිෂ්ටිය නම් විශේෂ මන්තතරයක් කියනු ලබන අතර, එය පැමිණි ප්‍රධාන කිරිඅප්පා විසින් ගයති. අනතුරුව දානය භුක්ති විඳීමෙන් පසුව දෙවියන්ට පින් දී පතලයට සෙත් පතා දානයේ වැඩ අවසන් කෙරේ. මේ අනුව මෙම දානමය පින්කම් සිදු කොට පතල් කර්මාන්තයට ආසිරි පතා වාසි ලබා ගැනීම අරමුණු කොටගෙන මෙම කටයුතු සිදු කරනු ලබයි.
මෙවැනි පුද සිරිත් වලින් අනතුරුව කෙසේ හෝ මැණික් ලබා ගැනීමෙන් පසුව එය අලෙවි කොට මිලක් ලබා ගැනීම සිදුකරනු ලබයි. මෙම මැණික් වෙළෙදාමේදී ලාභ මෙන්ම පාඩු සිදුවන අවස්ථාද දක්නට ලැබේ. අතීතයේදී මුක්කරුන් ලංකාව තුළ මැණික් වෙළෙදාම සිදු කොට නැත. නමුත් ඔවුන් තම දිවි පෙවෙත ආරක්‍ෂා කරගැනීම සදහා විවිධ භාණ්ඩ වලට මෙම මැණික් හුවමාරු කරගනු ලැබූ බව සඳහන් වේ. ලංකාව තුළ අලෙවි නොකෙරුවද පිටරටට ගෙන ගොස් අලෙවි කරන්නට ඇතැයි සැලකේ. කෙසේ නමුත් ඉන් අනතුරු කාල සීමාව තුළ අව්රශ්මියට අල්ලා මැණිකෙහි දිස්නය මත එහි මිල ගණන් තීරණය කොට අලෙවි කරන්නට විය. මෙලෙස පරීක්‍ෂා කිරීමෙන් ගලක අභ්‍යන්තරය ඉතා පැහැදිලිව දැක බලා ගැනීමට හැකිවනු ඇත. මෙම මැණික් විකිණීම පතල් ආශ්‍රිතව මෙන්ම මැණික් පොළවලද සිදු කෙරේ. ඊට අමතරව වෙන්දේසි ක්‍රමයටද මැණික් විකිණීම දක්නට ලැබේ. එහිදී එකී ආදායමෙන් 3% ක් තැරැව්ව සදහා වෙන් කිරීම සාමාන්‍ය සිරිතයි. එයින් භාගයක් මිලදී ගනු ලබන වෙළෙඳුන්ටත් ඉතිරිය එම වෙන්දේසි ස්ථානයටත්ය.
මින් පෙර මැණික් වීකිණීමේ රහස් ක්‍රම කිහිපයක් පැවතුණි. ඇඟිලි පුරුක් ගණන් කිරීමේ ක්‍රමය ඉන් එක් ක්‍රමයකි. වර්තමානයෙහි ඇතැම් මුස්ලිම් ජනයා අතර ඉතා දුලබව භාවිත වන මෙම ක්‍රමය ගැනුම්කරුවා හා විකිණුම්කරුවන් තම ඇඟිලි ලේන්සුවකින් හෝ සළුවකින් වසා ඇඟිලි පුරුක් මිරිකා මැණික් ගලෙහි වටිනාකම තීරණය කිරීමේ ක්‍රමයකි. මෙහිදී ගැනුම්කරු තමා අපේක්‍ෂිත මුදල විකිණුම්කරුගේ ඇඟිලි පුරුක් මිරිකා ප්‍රකාශ කරන අතර විකිණුම්කරුද එයට එකඟ නම් ඒ බව ගැණුම්කරුගේ ඇඟිලි තදින් මිරිකා ප්‍රකාශ කරති. මෙය එක්තරා ආකාරයකින් මැණික් කර්මාන්තයේ රහස්‍ය සන්නිවේදන ක්‍රියාවලියක් බව කිව යුතුය. අවබෝධ කරගැනීමට තරමක් අසීරු මෙම ගනුදෙනු ක්‍රමය මුදල් ඒකක අඩු අතීතයේ භාවිත කළ ද, මුදල් ඒකක සංකීර්ණ වත්මනෙහි මෙම ක්‍රමය භාවිත කිරීම අපහසු බව කිව යුතුය.
ඉතා වටිනා දුර්ලභ පාෂාණ වර්ගයක් වන මැණික් පතල් කැණීම, එහි පුද සිරිත්, මැණික් වෙළෙඳාම ආදියට අමතරව අපල සදහා මැණික් පැළඳවීම ද සිදුකරනු ලබයි. එක් එක් නවග්‍රහ අපල වලට අනුව ඒ ඒ මැණික් පැළඳීම සිදුකරනු ලබයි.
● රවි - පත්මරාග
● සඳු - මුතු
● කුජ - රතු කැටය
● බුධ - තෝරමල්ලි
● ගුරු - පුෂ්පරාග
● සිකුරු - සුදුනිල
● සෙනසුරු - නිල් කැට
● රාහු - ගෝමේද
● කේතු - කනක වෛරෝඩි
මෙලෙස විවිධ ග්‍රහ අපල වලට විවිධ මැණික් වර්ග පළදවන අතර වටිනාකම අතින් මෙන්ම, අපල දුරුකරන අංශයන් ලෙසද මෙය වැදගත් වේ.
සංස්කෘතිය අතින් ගත්කල පතල් ආශ්‍රිතව විශේෂිත වචන මෙන්ම කවිද දක්නට ලැබේ. ඒ අනුව පතල් කර්මාන්තය තුළ වෙනම උප සංස්කෘතියක්ද දක්නට ලැබේ. අඩිපොල්ල, අත්පඩිය, ඇලපත, කැකිල්ල, කන් වැල, කනු ලෑල්ල, දෝනාව, දබරය, මාලාව, වැඩි වියදම් ආදී ලෙස විශේෂ වූ වචන මාලාවක්ද අඩංගු වේ. ඒ අනුව බලන කල මෙම පතල් කර්මාන්තය තුළින් මහා සමාජයට වෙනමම උප සංස්කෘතියක් ද එක්වී තිබෙන බව දක්නට ලැබේ.
අතීතයේ මුක්කරු ජන සමාජ කොට්ඨාශය මඟින් කර්මාන්තයක් ලෙස ආරම්භ කරනු ලැබූ මෙම පතල් කර්මාන්තය නූතනය වන විට දියුණු ක්‍රමෝපායන් භාවිත කරමින් ඉතා වැඩි මිල ගණන් යටතේ පවත්වාගෙන යනු ලැබේ. ඒ අනුව කර්මාන්තයක් ලෙස මේ තුළින් විවිධ නිෂ්පාදන ද එළි දක්වමින් නූතනය වන විට ඉතා ඉහළ වටිනාකමකින් යුතුව, දේශීය හා විදේශීය ඉල්ලුමක් සහිත මැණික් කර්මාන්තය ලාංකේය ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වී ඇති බව සඳහන් කළ හැකිය.
නවෝදිකා සුභාෂිණි
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවවිද්‍යාලය
කැලණිය
No comments:
Post a Comment