Saturday, 21 October 2023

වාත්ස්‍යායනගේ කාම සූත්‍රයෙන් පෝෂණය වූ මීරා නායර්ගේ කාම සූත්‍ර

 

 



කථා සාරාංශය

ඉන්දියානු සාහිත්‍යකරු වාත්ස්‍යායන විසින් ඉදිරිපත් කළ කාම සූත්‍ර ග්‍රන්ථයේ මූලික අන්තර්ගතය පිළිබිඹු වන කාම සූත්‍ර චිත්‍රපටය 1996 වසරේ දී  මීරා නායර් විසින් අධ්‍යක්ෂණය කර, 1997 පෙබරවාරි 28 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ දී මුල් වරට ප්‍රදර්ශනය කරන ලදී. ඉන්දියාවේ රූ ගත කල මෙම චිත්‍රපටය ඉන්දියාවේ දී රූ ගත කළ ද, ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් විය. 16 වන සියවසේ ඉන්දියාවේ කජුරාවෝ කෝවිල ආශ්‍රිතව පැවති මාලිගාවක වෙනස් සමාජ පන්තීන් නියෝජනය කරන කාන්තාවන් දෙදෙනෙකු ආශ්‍ර‍යෙන් මෙම කථාව දිග හැරේ.

සේවිකාවක වූ මායා (ඉන්දිරා වර්මා) අතිශය රූමත් අඟ පසඟින් යුක්ත තැනැත්තියක් වූ අතර ඇගේ ස්වාමි දූ වන ටාරා (සරීටා චෞද්රි) ඉහළ කුල කුමරියක් වේ. ඔවුන් දෙදෙනා කුඩා කල සිට මිතුරියන් වන නමුත් ඊර්ෂ්‍යාව සහ ක්‍රෝධය මෙන් ම අහංකාරකමින් යුතු වූ ටාරා වැඩි වියට පත් වන විට තම මිතුරිය වූ මායා ව ඈත් කරයි. තරුණ වියට පත් වන විට මායා සම්භාව්‍ය නර්ථන ශිල්පිනියක් බවට පත් වෙයි. ඒ අතර බික්‍රම් කුමරු මායා ගේ සෙනෙහස බලාපොරොත්තු වෙයි.

ටාරා කුමරිය විවාහ වීමට සූදානම් වන අතර, තම අනාගත බිරිඳ බැලීම සඳහා රාජ් සිං (නවීන් ඇන්ඩෘස්) කුමරු ටාරා ගේ මාළිගාවට පැමිණේ. අහඹුවක් මෙන් රාජ් සිං කුමරුගේ නෙත ගැටෙන්නේ මායා ය. ඉන් අනතුරුව මායා සහ රාජ් සිං කුමරු අතර ගාන්ධර්ව විවාහයක් (ලිංගික සම්බන්ධයක්) සිදුවේ. එය බික්‍රම් කුමරු දකින අතර එය ඔහුට වා වා ගත නොහැකි තත්ත්වයක් පෙන්නුම් කරයි. ටාරා සහ රාජ් සිං කුඩා කල සිට විවාහ වී සිටින අතර, ඔවුන්ගේ තරුණ විය විවාහය සිදු වීමට පෙර රාජ් සිං සහ මායා අතර සිදුවන මෙම ලිංගික සම්බන්ධය මත කතාව දිගහැරේ. එම සම්බන්ධයෙන් පසු බික්‍රම් කුමරු, මායා ට තමා සමඟ විවාහ වන මෙන් ඉල්ලීමක් කරන නමුදු, ටාරා සහ රාජ් සිංගේ විවාහය දකින මායා ඒ වන විට මානසික සිත් තැවුලෙන් පසු වේ. අනතුරුව ඇගේ ත්, රාජ් සිංගේ ත් සම්බන්ධය පිළිබඳව බික්‍රම් කුමරු ටාරා ගේ මවට කරුණු හෙළි කරයි. අවසානයේ දී මායා ව මාළිගා සීමාවෙන් පිට කරයි.

රාජ් සිං සමඟ විවාහ වන ටාරා ඔහුට ප්‍රේමයෙන් පසු වුවත්, ලිංගික සම්බන්ධයක් පිළිබඳ කිසිදු හැඟීමක් හෝ තැකීමක් නොදක්වයි. ඇයව බියට පත් කර, ඇය සමඟ ලිංගික සම්බන්ධයක් පැවැත්වුවහොත් එය මනාලිය දූෂණය කිරීමක් ලෙස සිතන රාජ් සිං එසේ සම්බන්ධ වීමට අකැමති වෙයි.

නිවසින් පිට වූ මායා ඉබාගාතයේ හැසිරෙමින් ගමන් කරන විට තරුණ ගල් මූර්ති ශිල්පියෙක් වන ජායි කුමාර් (රේමන් ටිකැරච්) හමු වේ. ඔහු මායා තම සුරූපී සහ දැඩි අනුරාගී ප්‍රතිමා සඳහා අනුප්‍රාණයක් වී ඇති බව ඇයට හෙළි කරයි. ඇගේ සිතිවිළි වල කැළඹීම වටහා ගන්නා ජායි කුමාර් ඇගේ මනස සුවපත් කිරීම සඳහා කාමය, තරහව, පෙළඹවීම සහ ආදරය පිළිබඳ හසල දැනුමක් ඇති පැරණි කලා ගුරුවරියක වන රස දේවි (රේඛා) නම් වැඩි මහළු කාන්තාව ළග ඇයව නතර කරයි. ඉන් අනතුරුව ඇගේ ප්‍රථම සැබෑ පෙම්වතා ලෙස සම්බන්ධතාවය ඇති වන්නේ ජායි කුමරු සමඟ ය.

එක් අවස්ථාවක දී මොවුන් දෙදෙනා සමාජ ශාලාවකට යන අතර, මායා පිරිමි වේශයක් ගෙන එම ස්ථානයට යයි. එතැනට පැමිණෙන රාජ් සිං තවත් කුඩා දැරියක් සමඟ ලිංගිකව එකතු වීම සඳහා සූදානම් වනු දකින මායා සිත් තැවුලෙන් එතැනින් පැන දුවයි. ඇය අස් වසන ජායි කුමාර් ඇය හා ප්‍රේමයෙන් වෙලේ. රාජ් සිං සමඟ ලිංගිකව සම්බබන්ධ වන අවස්ථාවේ දී ඇගේ හැඟීම් මුදා හරින බවක් හෝ ඇය එයින් වින්දනයක් ලබන බව හෝ නොපෙන්වන නමුත්, ජායි කුමාර් හා ලිංගිකව සම්බන්ධ වන අවස්ථාවේ දී ඇය තමාට සිතැඟි පරිදි තම හැඟුම් මුදා හැරීමට සහ වින්දනයක් ලැබීමට කටයුතු කරන බව පැහැදිළි වේ.

රාජ් සිං සමඟ එකතු වන මොහොතේ දී නිරන්තරයෙන් ඔහු ඇයව පෙරලා ඇයට ඉහළින් සිටීමට උත්සාහ කිරීමෙන් මානවීය වශයෙන් ඇගේ හැඟීම් සිර කිරීම ද, සමාජීය වශයෙන් ඔහුගේ සමාජ භූමිකාව භාවිතයට ගන්නා බව ද පෙනේ.

නමුත් ජායි කුමාර් සමඟ ඇය ලිංගිකව සම්බන්ධ වන අවස්ථාවේ දී ඇතිවන ආලිංගන රංගනයේ දී ඔහු සහ ඇය මාරුවෙන් මාරුවට පුරුෂ භූමිකාව නිරූපනය කරමින් තම තෘප්තිය ළඟා කර ගනී. ඉන් පසුව ඔහුගේ උකුළ මත වාඩි වී මුහුණින් මුහුණ බලා සංයමයෙන් යුතුව ලබන වින්දනය ඔවුන් දෙදෙනා අතර පවතින ප්‍රේමාන්විත බව ඉස්මතු කරයි. අවසානයේ දී ඔහුගේ ඇඟ මත නැගී විනෝදාස්වාදයෙන් යුතුව හැසිරෙන ඇයගෙන් පිළිබිඹු වන්නේ, ලිංගිකත්වය, ප්‍රේමය සහ විනෝදකාමික්වය ඔහුගෙන් එකවර ලැබූ බවයි. ඉන් අනතුරුව එක් අවස්ථාවක දී රාජ් සිං, ජායි කුමාර් විසින් නෙලන ලද මූර්තියක් දකී. එහි සියඑ අංග ලක්ෂණ මායා ගේ බැවින් රාජ් සිං එය හඳුනා ගෙන ඒ කවුදැ යි ජායි කුමාර් ගෙන් විමසයි. ජායි කුමාර් ඈ පිළිබඳව රාජ් කුමාර්ට පවසයි. එවිට ඇයව මාළිගාවට රැගෙන එන ලෙස රාජ් සිං ප්‍රකාශ කරයි. ඇයව මාළිගාවට ගෙන් වූ රාජ් සිං නැවත ඇයගේ සුන්දරත්වය නරඹයි. ටාරා සහ ජායි කුමාර් ඉදිරියේ සිදුවන රාජ් සිං ගේ සහ මායා ගේ රංගනය නිසා ජායි සහ ටාරා අපහසුතාවයට හා මානසික සිත් තැවුලකට පත් වේ.

මායා ගේ උපදෙස් පරිදි ටාරා සහ රාජ් සිං එකතු වීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවේ. ඉන් අනතුරුව ජායි තුමාර් සහ මායා අතර සිදුවන ලිංගික සම්බන්ධයේ දී ආදරය, ලිංගිකත්වය ඉක්මවා ගිය විකෘති තත්ත්වයක් සමඟ බද්ධ වේ.

ඒ අතර තුර රාජ් සිං සහ ජායි කුමාර් අතර සිදුවන මල්ලව පොර තරඟයක් ද වරින් වර සිදුවන බව පෙනෙයි. මුල් අවස්ථාවේ දී ඔවුක් දෙදෙනාගේ සුහදකාමී තරඟයක් වන අතර මායා හා ජායි කුමාර් එක්ව සිටින අවස්ථාව රාජ් සිං විසින් දැකීමෙන් පසු වෛරයක් සමඟ මුසු වූ මල්ලව පොර තරඟයක් ද සිදු වේ. එහි දී රාජ් සිං ට දැඩි පරාජයන් අත් වේ. එසේ ම මායා සමඟ ජායි කුමාර් සිටින අයුරු ද දකී. ඉන් අනතුරුව රාජ් සිං විසින් ජායි කුමාර් ව සිර කරයි. ප්‍රේමයෙන් වෙළුනු මායා ඔහුව සොයා යයි. අවසානයේ දී ජායි කුමාර් මරා දැමීමට රාජ් සිං තීරණය කරයි.

තම ප්‍රේමවන්තයා බේරා ගැනීම සඳහා මායා බලහත්කාරයෙන් මෙන් රාජ් සිං සමඟ එකතු වීමට උත්සාහ කරයි. නමුත් එම උත්සාහය ව්‍යක්ත වෙයි. ඇය ටාරා හරහා ද උත්සාහ කරයි. එය ද ව්‍යක්ත වෙයි. අවසානයේ දී ජායි කුමාරයා වධ දී මරා දමයි. ආක්‍රමණික සෙබඑන් මාලිගාව ආක්‍රමණය කරන අතර, මායා ඇගේ තම ආධ්‍යාත්මික නිදහස ගැන ගැඹුරින් කල්පනා කර මාළිගාවෙන් පිට වෙයි. 


චිත්‍රපටයේ දාර්ශනික ප්‍රවේශය

වාත්ස්‍යායනගේ කාම සූත්‍රය පැරැන්නන් විසින් සැලකූයේ ආයුර්වේදයට අයත් ග්‍රන්ථයක් ලෙස වුව ද, ඒ තුළ සඳහන් ලිංගිකාවේග සහ ලිංගේන්ද්‍රයන් අතරෙහි පවත්නා විශමතා පදනම් කරගෙන ස්ත්‍රීන් සහ පුරුෂයන් වර්ග කිරීමත්, වාජීකරණ ආදී ඖෂධ සංයෝග පිළිබඳව සඳහන් කිරීමත්, එක් එක් වර්ගයන්ගේ ලිංගිකාවේ, සන්තර්පනය කිරීමත් පිළිබඳ ව සඳහන් වීම හේතු කොටගෙන ආයුර්වේද ග්‍රන්ථයකට වඩා මානවීය හැඟීම්, සමාජීය අවශ්‍යකාවයන් පිළිබිඹු කෙරෙන ග්‍රන්ථයක් ලෙස හැඳින්විය හැකි ය.

කාම සූත්‍රයේ සඳහන් වන පරිදි පංචාලයේ බාභ්‍රව්‍යයන් විසින් ඉදිරිපත් කල පළවන අංගය වූයේ සාධාරණාධිකරන හෙවත් ශාස්ත්‍රයන්හි සාරය දැක්වීමයි. කාම ශාස්ත්‍රය ඉගැන්වීම පිළිබඳ ව කාම සූත්‍ර චිත්‍රපටයේදී දක්නට ලැබෙන්නේ රස දේවි සම්බන්ධ සිද්ධි දාමයන් තුළදී ය.

දෙවන කරුණ වන සාම්ප්‍රයෝගීකාදීකරණ හෙවත් සහවාසයට සම්බන්ධ සියලු විස්තර ඉදිරිපත් කිරීම ද, චිත්‍රපටය තුළ දී රස දේවී විසින් දැරියන්ට උගන්වනු ලබයි.එසේ ම තෙවන කොටස වන කන්‍යා සම්ප්‍රමුක්තාධිකරණ බාල විවාහය හා එය හා බැඳුණ්‍රු පාප ක්‍රියා ද ස්වයංවර විධි ද විස්තර කෙරේ. කාම සූත්‍ර චිත්‍රපටය තුල ද රාජ් සිං සමාජ ශාලාවකට ගොස් කුඩා දැරියක් මුදලට ගැනීම සහ ඇය ස්පර්ශ කිරීම මෙහි එක් අවස්ථාවක් ලෙස ද, කාන්තාව සළුවකින් වසා ඇය ගේ අඟ පසඟ හඳුනා ගැනීමේ අවස්ථාවන් ද දැකගත හැකි ය. 

සිව් වන අවස්ථාව යටතේ දක්නට ලැබෙන භාරයාදිකාරීකරණ හෙවත් භාර්යාවක ගේ යුතුකම් ආදිය චිත්‍ර පටය තුළ ඉස්මතු වන්නේ රාජ් සිං වෙත පැමිණෙන ටාරා ගේ ස්වභාවයෙනි. ඇය රාජ් සිං සමඟ විවාහ වුව ද, ලිංගික කාර්යය සඳහා එක්වීමේ අපහසුතාවයකින් පෙනෙනු දක්නට ලැබෙයි. එයට හේතුව වූයේ රාජ් සිං මායා සමඟ සංවාසයෙහි යෙදීම ටාරා විසින් දැකීම යි. එය ටාරා මනෝ ව්‍යාධි තත්ත්වයකට පත් වීමට හේතුවක් වේ. මායා ගේ මඟ පෙන්වීම මත ටාරා විසින් නැවත රාජ් සිං සමඟ සංවාසය කිරීමට උත්සාහ කල ද එම අවස්ථාව ද ව්‍යක්ත වන්නේ ටාරා ගේ එම මනෝ ව්‍යාධි තත්ත්වය හේතු කොට ගෙන ය.

මෙහි පස් වන අවස්ථාව් දී දැක්වෙන පරදාරකාදීකරණය හෙවක් අනුන්ගේ බිරියන් ලබා ගැනීමට යොදාගනු ලබන උපක්‍රම මෙම චිත්‍රපටයේ ද දක්නට ලැබේ. මායා ව තම මතයට නතු කර ගැනීමට රාජ් සිං විසින් යොදාගනු ලබන උපක්‍රම එයට නිදසුන් ය.

හය වන කොටස යටතේ ඉදිරිපත් වන වෛශිකාදීකරණය හෙවත් ගණිකාවන් හා ස්ත්‍රීන් කරා යන්නවුන් පිළිබඳව ද චිත්‍රපටය තුළ දක්නට ලැබෙයි. රාජ් සිං සමාජ ශාලාවට යන අවස්ථාවේ දී ඔහු සමඟ සිටි සගයන් වෛශ්‍යාවන් ඇසුරු කරන අවස්ථාව එසේ හදුන්වා දිය හැක.

කාම සූත්‍රය අවසාන වශයෙන් ඉදිරිපත් කරන ඖපනිෂධකාදිකරණ හෙවත් වශීකරණ සහ වාජීකරණ ආදිය සම්බන්ධ රහස් උපක්‍රම චිත්‍රපටය තුළ දී ඉදිරිපත් වන්නේ, මායා සමඟ ජායි කුමාර් සංවාසයෙහි යෙදෙන අවස්ථාවේ ඔහු විසින් ඇගේ මුවට වාජීකරණ ඖෂධ ඇතුළත් කිරීම ද, මායා සමඟ රාජ් සිං සංවාසයේ යෙදෙන අවස්ථාවේ දී ඔහු තම දිවේ වාජීකරණ ඖෂධ තවරා ගැනීමෙනි.

වාත්ස්‍යායනගේ කාම සූත්‍රයේ චුම්බන විකල්ප ප්‍රකරණය තුළ සඳහන් ඔට්ටු අල්ලා තොල් සිප ගැනීමේ ක්‍රීඩාව චිත්‍රපටය තුළ ද භාවිත කරයි. එහි දී මුලින් ම තොල් අල්ලා ගත් අයට ජයත් අනෙකාට පරාජයත් අත් වේ. තොල් සිප ගැනීමේ ක්‍රීඩාවෙන් පරාජයට පත් යුවතිය, පුරුෂයා තොල් අල්ලා ගැනීම වලකනු පිණිස ඒ මේ අත මුහුණ හරවයි. මෙම ක්‍රමවේදය රාජ් සිං සහ මායා සංවාසයේ යෙදීමට ප්‍රථම සිදුකරනු දැකිය හැක.


මනෝ විද්‍යාත්මක ප්‍රවේශය

මනෝ විද්‍යාත්මක ප්‍රවේශය යටතේ මායා ගේ චරිතය විග්‍රහ කරන විට චිත්‍රපටය පුරාම දිවෙන විවිධ සිදුවීම් සමඟ ඇගේ මනස ක්‍රියා කරන ආකාරය විමසිය යුතු ය. මෙම චිත්‍ර පටයෙහි කතා වින්‍යාසය ප්‍රධාන වශයෙන් ම ගොනු වී ඇත්තේ කාමාග්නිය මුල් කොට ගෙන ය.මායා කන්‍යාවියක ලෙස චිත්‍ර පටය තුළ මුල්ම අවස්ථාවන් වල දී ඇගේ කෙලිළොල් ස්වභාවයක් දක්නට ලැබිණි. බික්‍රම් කුමරු සමඟ කෙළිදෙලෙන් පසුවන ආකාරයෙන් එය පැහැදිලි වේ.                                                                                                                                                  දෙවන අවස්ථාවේ දී ඇය රාජ් සිං සමඟ සංවාසය කිරීම සඳහා සූදානම් වන මොහොතේ මනෝමය ස්වභාවය වූයේ ඇගේ කැමැත්තකට වඩා රාජ නියෝගයක් මත ඇති වූ බිය ජනක තත්ත්වයකි. ඉන් පසුව එන සිද්ධීන් වල දී ඇය යම් තැම්පත් ලීලාවකින් සිටිනු දක්නට ලැබේ. එසේ ම අවට සමාජයට ඇති බිය ජනක ස්වභාවයක් ඇගේ මනස තුළ ක්‍රියාත්මක වන බව සියලු ක්‍රියාවන්හි දී දක්නට ලැබේ.

තුන් වන අවස්ථාවේ දී ජායි කුමාර් මුණ ගැසීම සහ ඔහු සමඟ ප්‍රේමයෙන් වෙලීම සහ ඇගේ හැඟීම් මුදා හැරීම දැකගත හැකි ය. එහි එක් සිද්ධියක දී ජායි කුමාර් පිළිම නෙළන ස්ථානයට ඇය විසින් ආහාර රැගෙන ඒමේ අවස්ථාවේ දී ජායි කුමාර් ගේ සිත තුළ ඇය පිළිබඳ ව යම් හැඟීමක් ඇති වීම සඳහා විශේෂ ඉරියව්ල නිරූපනයන් ඉදිරිපත් කරයි. ජායි තුමාර ගේ සිතේ ඇය පිළිබඳ ආකල්පයක් මෝදු වීම රූපකයක් වශයෙන් වද මලක් ඇගේ සිරුර පුරා ස්පර්ශ කිරීමෙන් පිළිබිඹු කරයි. ඉන් පසු ඇගේ මනස විවෘත වන්නේ ජායි කුමාර් සමඟ ප්‍රේමයෙන් වෙලීමටයි. ඇය ජායි කුමාර් සමඟ සංවාසයේ යෙදෙන්නේ ද තම සිතැඟි මුදුන් පමුණුවා ගැනීමේ ස්වරූපයෙනි.

සිව් වන අවස්ථාවේ දී ඇගේ මනස ක්‍රියාත්මක වනනේ රාජ් සිං ඇයව බලෙන් තමා වෙත නතු කර ගැනීමේ අවස්ථාවේ දී ඇගේ මනස ක්‍රියාත්මක වූ ස්වභාවය යි. එහි දී ජායි කුමාර් ට ඇති ආදරය සමඟින් ම ඇයට රාජ් සිං සමඟ සංවාසයෙහි යෙදීමට සිදු වේ. එහි දී ඇගේ සිත තුළ ඇති වන මානසික කම්පනය අවස්ථා කිහිපයක දී ම ඉස්මතු වේ. රාජ් සිං ව ප්‍රතික්ෂේප කරන ඇය ජායි කුමාර් සමඟ එක් වීම රාජ් සිං දැනගත් මොහොතේ ම ජායි කුමාර් ට දඬුවම් ලබා දීම, ඇගේ මානසිකත්වය වෙනත් මඟකට යොමු වීමට මඟ පාදයි. ජායි කුමාර් ව එළිමහනේ සිරකොට තැබීම සමඟ ම මායා ආවේගශීලී තැනැත්තියක් බවට පත් වේ. ඇය තමා ගේ හිස කෙස් කපා දැමන්නට යැයි ජායි කුමාර් ගෙන් ඉල්ලීමක් කරන්නේ ද එම ආවේගශීලීත්වයත් සමඟිනි. ඇගේ පවතින මානසිකත්වයෙන් සන්නිවේදනය වන්නේ ජායි කුමාර් ට පමණක් පිදිය නොහැකි තම රූ සපුව රාජ් කුමාර් ට ලබා දෙන්නේ කුමටද යන්න හඟවන්නාක් මෙනි.

ඉන් පසු ව ඇය රාජ් සිං අසලට පැමිණෙන්නේ යම් ගනුදෙනුවක් සඳහා ය. ඒ තමා සමඟ සංවාසය කොට හෝ ජායි කුමාර් බේරා දෙන ලෙස කරන ඉල්ලීමත් සමඟිනි. නමුත් රාජ් සිං එම අවස්ථාවේ දී එයට එකඟ නොවී ජායි කුමාර් මරා දමයි. ඉන් පසු ඇය මානසික ව්‍යාකූලත්වයට පත් වූ කාන්තාවක ගේ ස්වරූපය නිරූපනය කරයි. ඇය මාළිගය අතහැර යයි.

මෙම චිත්‍රපටය තුළ මායා ගේ චරිතයෙන් ඉස්මතු වන මානසික ස්වභාවය ඉහත ආකාරයෙන් එක් එක් අවස්ථාවන් වල දී විවිධාකාර ස්වභාවයන් ගන්නා බව පැහැදිළි වේ.


සංස්කෘතිකමය ප්‍රවේශය

16 වන සියවසේ ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩු වල ස්වරුපය ඉස්මතු වන කාම සූත්‍ර චිත්‍රපටයේ එක් එක් චරිත නියෝජනය කරනු ලබන සමාජ පරාසයන් තුළ ට කිඳා බසිමින් සිද්ධි ගොනු කරනු ලබයි. රාජකීයයන් ගේ සංස්කෘතියේ ස්වභාවය, සේවිකාවන් ගේ ස්වභාවය, මැති ඇමති වරුන් ගේ ස්වභාවය, නාටිකාංගනාවන් ගේ ස්වභාවය සහ රාජ්‍ය වෛශ්‍යාවන් ගේ සමාජීය හා සංස්කෘතිත ස්වභාවයන් මේ තුළින් ගෙන හැර පායි. රාජ් සිං ගේ චරිතයෙන් රජු ගේ තත්ත්වය නිරූපනය වන අතර තමා ට අවශ්‍ය වන ඕනෑ ම ‍දෙයක්, ඕනෑ ම කෙනෙකු කෙසේ හෝ ලබා ගැනීම ඔහු ගේ චරිතයෙන් නිරූපනය වේ.

රාජ සැප සම්පත් කොපමණ තිබුණ ද ආදරය සහ ආශාව පිළිබඳ භීතිකාවකින් පෙළෙන අග මෙහෙසියක ගේ තත්ත්වය නිරූපනය කරන්නේ ටාරා නම් චරිතය යි. එම සංස්කෘතියේ තිබූ චරිත ගණනාවක් වන සේවිකාවක ගේ, නාට්‍යාංගනාවක ගේ, අන්තපුර  කාන්තාවක ගේ, පෙම්වතියක ගේ, වැන්දඹුවක ගේ සහ මානසික රෝගියකු ගේ චරිතයන් නිරූපනය කරන මායා නම් තරුණිය විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරයි.

  ජායි කුමාර් නම් ගල් වඩුවා තම මූර්ති සඳහා අරමුණු කරගත් තරුණියක් ලෙස මායා ව යොදා ගන්නා අතර පසුව ඇය ඔහු ගේ පෙම්වතිය බවට පත් වේ. සංස්කෘතිය තුළ සාම්ප්‍රදායක සිරිත් අනුව විවාහ නොවුන ද ගාන්ධර්ව විවාහය මඟින් විවාහ ගිවිස ගන්නා ඔවුන් දෙදෙනා සංස්කෘතිය මත පදනම්ව බිරිඳ ගේ සහ ස්වාමියා ගේ යුතුකම් සහ වගකීම් වෙනුවෙන් පෙනී සිටී. නිදසුනක් ලෙස රාජ් සිං විසින් මායා ව තමා වෙතට රැගෙන එන ලෙස ජායි කුමාර් ට අණ දුන් පසු ජායි කුමාර් එය රාජ අණක් නිසා මායා ව රාජ මාළිගාව ට රැගෙන යන මුත් කිසිම මොහොතක ඇයව තනි නොකරයි.මායා ගේ ආදරය තමා වෙතට ලබා ගත නොහැකි වූ රාජ් සිං, ජායි කුමාර් ව මුලින් සිර කර පසු ව මරා දැමීමට තීරණය කිරීමෙන් පසු ඔහුව බේරා ගැනීම සඳහා ඇයට ගත හැකි සෑම උත්සාහයක් ම ගනී. අවසානයේ දී රාජ් සිං සමඟ නිදි වැදීමට පවා ඇය එකඟ වෙයි.

මෙසේ එම ඉන්දියානු සංස්කෘතිය තුළ පැවතුණු සංස්කෘතිකාංග අතර නාට්‍යශාලා, සමාජ ශාලා, ස්වයංවර ආදී අංගයන් ද චිත්‍රපටය තුළින් ගෙන හැර දක්වයි.


මානව විද්‍යාත්මක ප්‍රවේශය

කාම සූත්‍ර චිත්‍රපටයේ මානවීය ගුණාංග සන්නිවේදනය වන ආකාරය සාකච්ඡා කිරීමේ දී වාත්ස්‍යායන විසින් ඉදිරිපත් කළ කාමාග්නිය පිළිබඳ සියලු ගුණාංග සෑම දර්ශන තලයකම අඩු වැඩි වශයෙන් පිළිබිඹු කොට තිබේ. කතාව ආරම්භයේ කුඩා දැරියන් දෙදෙනෙකු ජලය තුළ සිට විවිධ රති කාම රංගනයන් හි ස්වරූපයන් ඉදිරිපත් කිරීම, ළදැරි වියට පත් වන ඔවුන් ගේ ප්‍රධාන චරිත දෙකක් විශේෂයෙන් ඉස්මතු කර දැක්වීම හා රති කාම දේවී විසින් ටාරා දැරියට වැඩි සැළකිල්ලක් යොමු කිරීම සහ ඒ දෙස බලා සිතින් වින්දනයක් පමණක් සිදු කරන මායා ගේ චරිතයෙ හි විශේෂත්වයක් දැකිය හැක.

එම රංගනය ටාරා විසින් ඉදිරිපත් කරනු ලබන්නේ බල කිරීමකට කරනු ලබන ක්‍රියාවක් ලෙස වුව ද මායා විසින් ස්ව කැමැත්තෙන් ඉතා අලංකාර ලෙස ඉදිරිපත් කරයි. මෙයින් සන්නිවේදනය වන මානවීය ස්වභාවය වන්නේ සියලු සැප සම්පත් හිමි වීම නිසා කාම රංගනයේ විශේෂත්වයක් හෝ අවශ්‍යතාවයක් නොදැනෙන ටාරා ගේ ස්වභාවය සහ එම කාම රංගනය තම අනාගත ජීවිතයේ ප්‍රධාන වෘත්තිය කර ගැනීමට සිය උපරිම හැකියාව පෙන්නුම් කරන මායා ගේ ස්වභාවය යි.

රාජ සැප සම්පත් දැක ගනිමින් ඒවා දෑසින් පමණක් වින්දනය කිරීම උරුම කරගත් මායා රාජ් සිං සමඟ සංවාසය කිරීමට යෝජනා ලැබීමේදී යම් චකිතයක් ඇති මුත් සිත තුළ පවතින සියුම් වින්දනයක් පෙන්නුම් කරයි. රාජ් සිං ඇගේ සළු පිළි ඉවත් කිරීමේ දී පවා එම චකිතය හා ලැජ්ජාව සමඟම මානවීය හැඟීම ඉස්මතු වන වින්දනීය තත්ත්වයකට පත් වෙයි. එම අවස්ථාවෙන් පසු ටාරා ගේ මව ඇයව මාළිගා සීමාවෙන් පන්නා දමන අවස්ථාවේ දී ඇය මවගෙන් ආයාචනයක් කරන්නේ රාජ අණ නිසා සිදු වූ දෙයට තමා කුමක් කරන්නට ද යනුවෙන් අසන්නාක් මෙනි.

රාජ් සිං ටාරා සමඟ සංවාසයේ යෙදෙන පළමු අවස්ථාවේ දී ඇති වන බහින් බස් වීමේ දී රාජ් සිං මායා පිළිබඳ ව ප්‍රකාශ කරයි. එහි දී ටාරා ගේ සිත තුළ ඇති වන ජුගුප්සාජනක තත්ත්වයක් නිසා ඇයට එම අවස්ථාව කරදරකාරී තත්ත්වයක් පිළිබිඹු කරයි. මානවීය ගුණාංගයක් ලෙස ටාරා ගේ එම අවස්ථාවේ මනස ක්‍රියාත්මක වන ආකාරය විග්‍රහ කිරීමේ දී ලිංගික එක් වීමක් සඳහා ජෛවීය අවශ්‍යතාවයට වඩා මානවීය සමිබන්ධතාවය වැදගත් බව ඇගේ ක්‍රියා වලින් ඉස්මතු වේ.

 ජායි කුමාර් පිළිම නෙළන ස්ථානයට යන මායා ඒ දෙස බලා සිටින විට ජායි කුමාර් ඇගේ මුහුණ ස්පර්ශ කර දෑත ක්‍රම ක්‍රමයෙන් පපු පෙදෙස ට ගෙන යන විට ඇය නුරුස්නා ස්වභාව‍යෙන් ඔහු දෙස බලා එතැනින් පැන දුවයි. නමුත් ඒ තුළ පැවතියේ අකැමැත්තක් නොව සාමාන්‍ය ස්වභාවයට වඩා එහා ගිය බැඳීමකින් ඔහු හා එක් වන්නේ නම් මීට වඩා සුන්දර ලෙස විඳිය හැකි ආකාරයකින් එය සිදුවිය යුතු බව ඇගේ මුහුණෙන් පිළිබිඹු කරමිනි.

ඉන් පසු අවස්ථාවේ දී කුඩා දරුවන් දෙදෙනකු සේ  ජායි කුමාර් සහ මායා කෙළිදෙලෙන් පසු වනු දැකිය හැකග එසේ කිරීමට වැඩි නැඹුරුතාවයක් දක්වන්නේ මායා යග එමඟින් ජායි කුමාර් ගේ ප්‍රේමය හඳුනා ගැනීමට ඇය උත්සාහ කරන ආකාරයක් දක්නට ලැබේ. ඉන් පසු මායා, ජායි කුමාර් සමඟ සමාජ ශාලාවකට ගිය පසු එහි දී රාජ් සිං කුඩා දැරියක් මිළ දී ගැනීම දැකීමත් සමඟ තමා පිළිබඳව ම අතිශය කම්පනයකටපත් වේ. ඒත් සමඟ ම සිතේ ඇති වන වික්ෂිප්ත භාවයෙන් ම ඇය එතැනින් පැන දුවයි. ඇගේ මනස ක්‍රියාත්මක වන්නේ ද එම කුඩා දැරියගේ අසරණභාවය මෙනැ යි පැහැදිළි වේ. රාජ් සිං සමඟ එක් වීමේ දී ඇගේ සළු ඉවත් කළේ රාජ් සිං වුව ද, ජායි කුමාර් සමඟ එක් වීමේ දී ඇය විසින් ම තම සළු පිළි උණා දමයි. එයින් පැහැදිළි වන්නේ ‍ප්‍රේමයෙන් වෙළෙමින් සංවාසයේ යෙදීමට ඇගේ සිත තුළ පවතින කැමැත්තයි.

ඉන් පසු ජායි කුමාර් අසළ සිටින විටම මායා ට රාජ් සිං සමඟ සංවාසයේ යෙදීමට අණ ලැබුන ද ඇය එය ප්‍රතික්ශේප කරයි. ඒ ඇගේ සිත කාමාශාවකය එහා ගිය ප්‍රේමනීය තත්ත්වයකට ජායි කුමාර් සමඟ ගොඩනැගී තිබූ හෙයිනි.

ඇය ජායි කුමාර් සමඟ නැවත සංසර්ගය කරන විට ඔහුගේ පිට නියපොතු වලින් සූරමින් විකෘති ආලිංගන රැඟුමක යෙදේ. එසේ විකෘති ආලිංගනයෙන් මතු වන ස්වභාවය වන්නේ, ඇය ජායි කුමාර් සමඟ එක් වීම ට ඇති අවස්ථාව රාජ් සිං විසින් උදුරා ගැනීම නිසා ඇති වූ වෛරී සිතුවිල්ලකි.

අවසානයේ දීල ජායි කුමාර් සිර කරුවකු කළ පසු ඇයගේ බිහිසුණු ස්වභාවය සියලු සිදුවීම් තුළින් ඉස්මතු කර දක්වයි. අසරණ වූ විට තමා පිළිබඳවම පමණක් විශ්වාසයක් ඇති වීම, තමා ගේ සිතැඟි මත ම ක්‍රියාත්මක වීම මෙන් ම ඇය හිසකෙස් කපා දැමීමෙන්, ජායි කුමාර් බේරා දෙන ලෙස ටාරා ගෙන් ඉල්ලීමක් කිරීමෙන්, ටාරා ට කාම ශාස්ත්‍රය පිළිබඳ ඉගැන්වීමෙන් සහ අවසානයේ දී රාජ් සිං සමඟ සංවාසයේ යෙදීමට කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් පිළිබිඹු වේ. නමුත් එම සියලු ක්‍රියාවන් ඇගේ කැමැත්තෙන් සිදු නොවූ බව චරිතයේ හැඟීම් ප්‍රකාශය මත ඉස්මතු වේ.

ජායි කුමාර් ව මරා දැමූ පසු ඇගේ මනස පැවති විකෘති ස්වභාවයෙනු ත් එහා ගිය මනෝ ව්‍යාධි තත්ත්වයකින් ගමන් කරනු දැකිය හැක. මෙම චිත්‍රපටය පුරා මායා ගේ චරිතය ආශ්‍රිතව දැකිය හැකි මානවීය ස්වභාවයේ සන්නිවේදනාර්ථ ඒ ආකාරයෙන් විග්‍රහ කළ හැක.


නවෝදිකා සුභාෂිණි

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

කැලණිය




රුහුණු රටේ පිහිටි කන්ද- කදිර දේව රාජනේ

   

                                            


ලක්දිව ජනයාගේ වන්දනයට පාත්‍ර වූ දෙවිවරුන් අතර මහත් සැලකිලි හා ගරු බුහුමන් ලබන දෙවියෙකු ලෙස කතරගම දෙවියන් හැඳින්විය හැක. ඇතැමුන් විෂ්ණු, සමන්, විභීෂණ යන මහා දෙවිවරුන් අතර සිටින බලවත් දෙවියෙකු ලෙස ද කතරගම දෙවිඳුන් වන්දනයට හුරු වී සිටී. කතරගම දෙවිඳු, ස්කන්ධ කුමාර, කඳ දෙවිඳු, මහාසේන දෙවි නමින් ලාංකීය ජනයාගේ වන්දනයට පාත්‍ර වන අතර ඉන්දීය ජනයා ස්කන්ධ, අග්නිභූ, ගංගාජ, ශක්තිධර, සරභූ, ද්වාදසකර, තාරකජිත්, ශුභ්‍රමණ්‍ය, කාර්තිකේය, කන්ද කුමාර්, කන්ද ස්වාමී යන නම් වලින් ආමන්ත්‍රණය කරති. 

කෙසේ වතුදු කතරගම දෙවි උත්පත්තිය හා ඉතිහාස කථා පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ මෙන්ම හින්දු දේව සාහිත්‍යයන්ගේ ද, ජනශ්‍රැතියේ ද විවිධ මතවාද දක්නට ලැබේ. 

බුදු සමයේදී දකුණු ලක රජ කළ මහාසේන රජු කාරුණික නායකයෙකු මෙන්ම සම්මත දේව තත්වයට පත් නායකයෙකු ලෙස රට වැසියන් විශ්වාස කළෝය. එම කථා ප්‍රවෘත්තිය තුළ දී මහාසේන දෙවිඳුන් ‘සම්මුති දෙවියෙකු’, ‘උප්පත්ති දෙවියෙකු’ හා ‘විසුද්ධි දෙවියෙකු’ ලෙස හැඳින්විය හැක. එහි අර්ථ පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ “මිනිසුන්ට වඩා උසස්, පින් ඇති දිව්‍ය, බ්‍රහ්ම ආදීන්ගේ පහලවීම්” පිළිබඳව ඉදිරිපත් කළ කරුණු ජාතක අටුවාවේ දිව්‍ය භේදයේ මෙසේ සඳහන් කරයි.

“සම්මුති දේවා නාම- රාජානෝ, දේවියෝ, කුමාරා” 

“රජ දරුවෝ ය. රාජ්‍ය මෙහෙසියෝ ය. කුමාරවරු ය. යන මොවුහු සම්මුති දෙවියෝ වෙති.”

ඒ අනුව කතරගම අග නගරය කොටගෙන රාජ්‍ය විචාල මහාසේන රජු අයත් වන්නේ සම්මුති දේව ගණයට ය.

“උප්පත්ති දේවා නාම- භුම්මට්ඨක දේවේ උපාදාය තථුත්තරං”

“උප්පත්ති දෙවියෝ නම් තලාතු දෙවියන්ගේ පටන් චාතුර් මහාරාජික, තව්තිසා ආදී දේව යෝනීන්හි උප්පත්ති වූවෝ වෙති.”

ඒ අනුව කතරගම දෙවි මහ රජ්ජුරුවෝ ‘කන්ද කුමාර’ නමින් දේව යෝනීන්හි ජනිත වූ පින් ඇති දිව්‍ය රාජයෙකි.

“විසුද්ධි දේවා නාම- බුද්ධ පච්චේක බුද්ධ ඛීනාසවා”

“විසුද්ධි දෙවියෝ නම් බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා ය” 

ඒ අනුව බුදුන් වහන්සේ තුන්වන වර ලක්දිවට වැඩම කළ අවස්ථාවේ කතරගම කිරිවෙහෙර පිහිටා ඇති ස්ථානයේ කිරිවෘක්ෂ මූලයෙහි අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා ඇතුලු රහතන් වහන්සේලා පනසිය නමක් සමග වැඩ සිටින සමයෙහි, ඇප උපස්ථාන කළ කතරගම අග රජු වූ මහාසේන දෙව්රජු බුදුන් සරණ ගිය බව සඳහන් වේ. බුදු බණ කෙරෙහි අතිශය පැහැදුණු මහාසේන රජු මාර්ගඵල බෝධියට පැමිණි බව ද, බුදුන් වැඩි බිමෙහි රැකරණය භාරව සිට, මරණින් මතු එම ස්ථානයේම දේවාත්මයක් ලබා වැඩ වාසය කරන බව ද විශ්වාස කෙරේ. මේ බැව් කතරගම දේව කන්නව් වලදී ද දැකගත හැකිය.

“පළමු මේ කල්පයෙහි බුදු වූ බුදුවරයන් වහන්සේලාට මොහොතක් සමාධියට සමවැදී හිඳ ඉන් නැගී සිට දහම් දෙසා ආරක්ෂා පිහිටුවා ලූ කතරගම ශුද්ධ භූමියට වැඳ නමස්කාර කර ගෞතම සර්වඥයන් වහන්සේ බුදු බවට පැමිණි අටවෙනි වසරෙහි අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා ඇතුලු රහතුන් පන්සියයක් පිරිවරා කතරගම කිරිවෙහෙර අසල වූ කිහිරි ගස් සෙවණෙහි නිරෝධ සමාපත්තියෙන් මොහොතක් වැඩ හිඳ සමවතින් නැගිට කළ ධර්ම දේශනාව අසා සෝවාන් ඵලයෙහි පිහිටා බුදුන් වහන්සේ අතින් ලත් ජීව කේශි ධාතුවත්, බුද්ධ පාරිභෝගික රන්මුවා ආසනයත් නිධන් කොට කතරගම වෙහෙර නමින් චෛත්‍යයක් කරවා ලෝසසුන් වඩා පසුව මිනිස් කයෙන් මිදී දේවාත්මයක් ලබා කලක් මඟුල් සෑය නමින් හැඳින්වී දැන් කතරගම කිරිවෙහෙර යැයි කියන එම ස්ථානයටත්, අෂ්ඨඵලරුහ බෝධිරාජයා ඇතුලු අවට ශුද්ධ භූමියටත් අරක්ගෙන මෙරට පන්දහස් පන්සිය වසක් පවතින සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන මහාසේන දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස...”

ස්කන්ධ දෙවි පිළිබඳ ඉන්දියානු ඉතිහාස කථාවල සඳහන් වන්නේ සුරයින්ට අසුරයින්ගෙන් සිදුවූ අකටයුතුකම් හා පීඩාවන්ට එරෙහිව සටන් කිරීමට පහළ වූ දේව සෙන්පතියෙකු ලෙස යි. රාමායණයේදී එතුමාගේ පියා ‘අග්නි’ ලෙස ත්, මව ‘ගංගා’ ලෙස ත් දැක්වෙන අතර, මහාභාරතය, ශිව, අග්නි, ස්කන්ධ පුරාණ වල ‘ඊශ්වර’ හෙවත් ශිව දෙවියන්ගේ හා ‘උමයංගනා’ හෙවත් පාර්වතියගේ පුත්‍රයා ස්කන්ධ ලෙස දැක්වේ.

එහි එක් කථා පුවතක් මෙසේ විය. ඊශ්වර දෙවියන් දෙව් ලොව යුධ සේනාපති තනතුරෙන් ඉවත්ව තපස් රැකීමට ගිය අවස්ථාවක, අසුරයින් විසින් ශක්‍ර ප්‍රධාන වූ දෙව් ලොව ආක්‍රමණය කළහ. ඉතා දුක්ඛදායක ඉරණමකට පත් වූ ශක්‍ර සුර ලොවින් පහතට බැස වනාන්තරයකට වී කල් ගෙවීය. තම රාජ්‍ය නැවත ලබා ගන්නා ආකාරය පිළිබඳ කල්පනා කරමින් සිටින එක් දිනක් තරුණියකගේ විලාප හඬ ඇසුණෙන් ඒ දෙසට ගොස් බැලීය. එහිදී ඔහු දුටුවේ ප්‍රජාපතියගේ දියණියක වූ දේවසේනා ට බලහත්කාරකම් කිරීමට කේසින් නම් අසුරයා යි. වහා අසුරයා පන්නා දේවසේනා මුදාගත් ශක්‍රයාගෙන් ඇය ඉල්ලීමක් කළේය. එනම් තමාට ගැලපෙන ශක්තිවන්ත, අසුරයන් පැරදවිය හැකි, රණකාමී සැමියෙකු ලබාදෙන ලෙස යි. ශක්‍ර එම ඉල්ලීම මහා බ්‍රහ්මට ඉදිරිපත් කළ අතර, මහා බ්‍රහ්මගේ අදහස වූයේ අග්නි (ඊශ්වර) දේවතාවාට දාව, ගංගා (පාර්වතී) නදිය විසින් දරුවකු බිහිකර දිය යුතු බවයි. 

ඒ මොහොතේ වශිෂ්ඨ ඇතුළු සෘෂිවරුන් සත් දෙනා මහා යාගයක් කරමින් සිටියහ. එම යාගයේ ගින්නේ ප්‍රාදුර්භූත වූ ඊශ්වර දෙවියන්, තාපසාරමවල සයනයන් මත නිදා සිටින සෘෂිවරුන්ගේ බිරින්දෑවරුන් දැක, ඔවුන්ගේ රූසපුවට වශීකෘත වී රාගී සිත් ඇති කර ගත්තේය. රාගී සිත ආයාසයෙන් මැඩගෙන වනයට ගිය ඊශ්වර දුටු පාර්වතිය, ඔහුකෙරේ රාගයෙන් මත්ව සෘෂිවරුන්ගේ බිරින්දෑවරුන්ගේ වේශයන් ගෙන සය වතාවක් ඊශ්වර ඉදිරියට ගොස් තම සිතැඟි ඉටුකොට ගත්තාය. ඇය ඊශ්වරගෙන් ගත් බීජ සයක් සෘෂිවරුන්ගේ වැඳුම් පිදුම් වලට පාත්‍ර වූ ස්වර්ණමය පොකුණක තැන්පත් කළාය. කල් ඇවෑමෙන් පොකුණෙන් හිස් හයක්, කන් දොලොසක්, ඇස් දොලොසක්, අත් දොලොසක්, පා දෙකක් සහිත කුමාරයෙකු බිහි විය. සුදුසු වියට පත් මෙම කුමරු දේවාසනා සමග විවාහපත් වී, අසුරයන් පරදවා සුරයන්ට දේව ලෝකය නැවත අත්පත් කර දුන්නේ ය. ඔහු ‘ස්කන්ධ’ හෙවත් ‘සුර සෙන්පති’ නමින් ප්‍රසිද්ධියට පත් විය. 

තවත් කථා ප්‍රවෘත්තියක දැක්වෙන්නේ වරෙක ඊශ්වරගේ ලලාට නේත්‍රයෙන් (තෙවනැසින්) ගිනිදැල් විහිදුණු අතර, ඒවා ‘සරවන’ නම් විලෙහි තැන්පත් විය. එයින් උපන් දරුවෝ සත් දෙනෙකු සප්ත සෘෂිවරුන්ගේ බිරින්දෑවරුන් විසින් කිරිපොවා හදා ගත්හ. මෙම දරුවන්ව දුටු පාර්වතී රූපශ්‍රීයෙන් වශී වී දරුවන්ව දෑතින් බදා ගත්තාය. එක් දරුවෙකු දෑතට හසු වූයේ නැත. ඔහු ගනේෂ විය. අනෙක් දරුවන් සියල්ලෝම එකට ඇලී එක් කන්ධයකින්, අත් දොළොසකින් සහ මුහුණු සයකින් යුත් ස්කන්ධ කුමරු බිහි වූ බව කියැවේ.

                            වත් සය අත් දොලොස චන්ද්‍ර චක්‍රායුධ ගෙන

                            යුත් ඇලි මයුරා පිට පැන නැගී වදා  රන

                            පත් සිසි මඩලක්දෝ කිරි මුහුදට                  පායන

                            සෙත් සිරි දී මෙමල් අස්න ගෙන හැර දක්   වන 

තම උපක්‍රමය අසාර්ථක බව දැන, විෂ්ණු දෙවියන් අනංගයා හෙවත් මල්සරා කැඳවා ඊශ්වර උමයංගනා දෙස බලන මොහොතක මල්සැරයක් විදින ලෙස උපදෙස් දුන්නේ ය. සුදුසු අවස්ථාව පැමිණෙන තෙක් කෛලාසකූටයේ කිරිපලු රුකකට මුවා වී සිටි අනංගයා, ඊශ්වර දෙවියන් ධ්‍යානයෙන් මිදී පහසුවෙන් සිටීමට සැරසෙන විට දෙපා දෙවීමට පැමිණි උමයංගනාව දෙස බැලූ මොහොතේදී ම ඔහුව රාගයෙන් කුල්මත් කරවමින් හී සැරයක් විදී ය. තම ධ්‍යානය බිඳීගිය බව දැනුණු ඊශ්වර, ඒ පිළිබඳ විමසිලිමත් වනවිට කිරිපලු රුකකට මුවා වී සිටි අනංගයා දුටුවේය. කෝපාවිෂ්ඨ වූ ඊශ්වරගේ ලලාට නේත්‍රය හැරිණි. මල්සරා අළු දුහුවිලි වී ගියේය. ඊශ්වර හා උමයංගනාව ප්‍රේමයෙන් වෙලිණි. තම ආදරය වෙනුනේ ජීවිතය කැප කළ මල්සරා පිළිබඳ තෙත් වූ ළයෙන් හැඬූ උමයංගනාවගේ බලවත් ඉල්ලීම පරිදි මල්සරාට සදා අමරණීය වන ජීවය ලැබුණ ද, ඒ හිණෙන් උඩ කොටස පමණි. ඊශවර හා උමයංගනාවගේ එක් වීමෙන් උපන් කුමරු කඳ කුමරු වූ බවත්, උමයංගනාවගෙන් ලැබුණු බලවත් ආයුධයක් වූ වේලායුධය රැගෙන ලක්දිවට සැපත් ඔහු මායාපුරයේ තාරක නම් අසුරයා ද, ශ්වේතපුරයේ සිංහමුඛ අසුරයා ද, හේමකූටයේ සුරපත්ම අසුරයා ද පරදවා සුරයින්ට සහනය සැලසූ බවත්, දෙවි සෙන්පති ධූරය ලැබ කාජරගාමයේ වල්ලී නම් සුරූපිනිය සරණකොටගෙන ලක්දිව රැඳුණු බවත් හින්දු දේව පුරාණයේ කියැවේ. ස්කන්ධ කුමරුගේ ඉන්දීය බිරිය වූ දේවාසනා හෙවත් තේවානි අම්මා ද ලක්දිවට පැමිණ මොවුන් සමග සාමයෙන් වාසය කළ බව කියැවේ. 

ගණ දෙවියන්ගේ හස්ති ස්වරූපය බිහි වීමට ද ස්කන්ධ කුමරුගේ සම්බන්ධයක් ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ. සෙල්ල කතරගම දිවි ගෙවූ වැදි රජුගේ සුරූපී දියණිය වූ ‘වල්ලී’ කෙරෙහි සිත බැඳුණු ස්කන්ධ, ඇය තම ප්‍රියම්බිකාව කරගැනීමට දැඩි උත්සාහයක් ගත්තේය. දෙවනුව තම සහෝදර ගණ දෙවියන්ගේ පිහිට පැතුවේය. තම සහෝදයා වෙනුවෙන් උපකාර කිරීමට ඉදිරිපත් වූ ගණ දෙවියෝ, සෙල්ල කතරගම මැණික් ගඟ ළඟ දර කඩමින් සිටි වල්ලී ඇතුළු පිරිස වෙත ඇත් වේශයක් මවාගෙන පැමිණ වල්ලී පසුපස පන්නන්නට විය. ඇතුගෙන් ගැලවීමට කෑගසමින් දිවයන වල්ලී ඉදිරියට පැමිණි ස්කන්ධ කුමරු ඇය වැළඳ ගත්තේය. මෙම වැළඳ ගැනීමත් සමග ඇය දිව්‍යමය තත්වයට පත් වූ බව පුරාණ දේව කථාවල කියැවේ. 

වල්ලි මාතාව ලැබීමේ සතුට නිසා ස්කන්ධ කුමරුට සිය සහෝදරයාගේ ඇත් වේශය ඉවත් කිරීමට අදාළව කළයුතු වත් පිළිවෙත් කිරීමට අමතක විය. ඇත් වේශයෙන් පැමිණි වල්ලී හඹා ගොස් ස්කන්ධ කුමරු හමු වුණාට පසු තම අත රැඳි පැන් කෙණ්ඩියෙන් ගණ දෙවියන්ගේ හිසට පැන් ස්වල්පයක් ඉසීමෙන් පමණි, ඇත් වේශය නැති වන්නේ. ස්කන්ධ කුමරුට මෙම පොරොන්දුව අමතක වී තිබුණි. එනිසා ගණ දෙවියන් ප්‍රකෘති තත්වයට ගතයුතු වූ වේලාව පසු විය. සදාකල්ම ඇත් වේශයෙන් සිටින්නට සිදුවීම පිළිබඳව මහත් කණස්සල්ලට පත් ගණ දෙවිඳුන් මුඛයේ තිබූ දළ දෙකින් එකක් කඩාගත් බව ගණපති හෑල්ලේ සඳහන් වේ.  

ලක්දිව වැසියන් විශ්වාස කරනු ලබන තවත් ප්‍රවාදයක් වනුයේ කතරගම දෙවියන් යනු බලවත් රාක්ෂස රජෙකු වූ ‘යගු කෞරාණ මණ්ඨක’ හෙවත් ‘මහා රාවණයන්” බවයි. රාමගේ පාර්ශවයෙන් මහා රාවණයන්ගේ නැගෙණිය වූ සුපර්ණකාට සිදු වූ අසාධාරණයක් නිසා කිපී, රාමගේ බිරිඳ වූ සීතා දේවිය ලක්දිවට රැගෙන ආ බව සුපකට කරුණකි. නමුත් සීතා දේවිය මහා රාවණයන්ගේ දියණියක වූවා ය. රාමගේ හමුදාව සටනට පැමිණෙන විට රාවණයන් පසු බැස්සේ මෙම සටනින් රාම පරාජය වුවහොත් තම දියණිය කනවැන්දුම් වන නිසා ය. දසිස් රාවණ හෙවත් දසවිධ ශක්තීන්ගෙන් කෙළ පැමිණියා වූ රාවණ තෙම, සියදිවි නසාගත් තම රූපකායක් මවා ලංකාපුර රාජධානියේ තබා ලක්දිව රුහුණු ප්‍රදේශයේ කාජරගාමයට ගියේය. ඔහුගේ ජීවානුහරණයෙන් පසු ලක්දිව යක්ෂ ගෝත්‍රික ජනතාව ඔහුව දේවත්වයෙන් වැඳුම් පිදුම් කරන ලදී. මහා රාවණයන්ගේ සංකේත අදට ද කතරගම දේව වන්දය තුළ දක්නට ලැබේ. රාවණයන් දඬු මොණරයේ නැගී ගිය බැවින් කතරගම දෙවියන්ගේ වාහනය මයුරා විය. ‘මණ්ඨක’ හෙවත් රාක්ෂයින්ගේ “සියල්ල සම්පූර්ණ කළ තැනැත්තා” නිසා සංකේතාත්මකව හිස් සයක් සහ අත් දොලොසක් මගින් එය නිරූපණය විය. ලංකාපුර රාජධානිය, වැඩසිටි කන්ද වැනි උස්කඳු මුදුන්වල තම රාජධානි තැනූ බැවින් ‘උස් කඳුවලට අධිපති වූ කුමරා’, ‘උස්කඳු කුමරා’ හෙවත් “ස්කන්ධ කුමරා”, “කන්දේ දෙවියන්” ලෙස ලක්වැසියන් තුළ මහත් ප්‍රසිද්ධියට පත් විය. 

ධෛර්යය, වීර්යය, ප්‍රතාපවත් බව, බල පරාක්‍රමය හා ශක්තිය ආදී වූ මහානුභාව සම්පන්න දිව්‍ය ශක්තීන් මුහුණු සයකින්, අත් දොලොසකින් නිරූපණය කරමින්, කෙටේරිය, දුන්න, හීය, පලිහ, පොත, අංකුසය, ත්‍රිශූලය, කඩුව, මුගුර, සැවුල් ධජය, සංඛය, තෝමරය අත් වල දරමින්, දකුණු උරහිසෙහි රණ මොණරෙකු ද, පාමුල නාගයෙකු ද, දෙපස තේවානි අම්මා සහ වල්ලි අම්මා ද සමග සිටින කතරගම දෙවියෝ ලක්දිව රුහුණේ සිට කුඩා කතරගමට, මහා කතරගමට, සෙල්ලං දූවට, මඩං දූවට, මැණික් ගංගාවට, කිරිවෙහෙරට, වැඩිහිටි කන්දට, මුහුදු මැද ත්‍රිත්ව කෝවිලට, කළුවවිල කොට්ටියාරාමයට, මුන්නේශ්වරම් දේවාලයට, මුන්නේශ්වරම් පස් පත්තුවට, රුහුණු පස් පත්තුවට, වළවේ ගංගාවට, කිරිඳි ගංගාවට, සෙල්ල කතරගමට, මහ දේවාලයට බලය තේජස පාමින් සිටී. 

ලක්දිවට බලපෑම් ඇතිවන විවිධ අවස්ථාවලදී කතරගම දෙවියන් පිහිට වූ බවද, ඵෙතිහාසික ජනප්‍රවාද වල සඳහන් වේ. දිනක් දුටුගැමුණු කුමාරයා පෙහෙවස් සමාදන් වී දිවුරුම් ගල මතට වී සිටිය දී නින්දට වැටුණු අතර, එතුමාට සිහිනයක් පෙණිනි. මයුරාසනාරූඩ වී පැමිණි අමුත්තකු පැමිණ, ඉදිරියේදී ඇතිවන මහා යුද්ධයෙන් ජය ලබා ගැනීමට තමා උපකාර කරන බවත්, ජය ලබාගත් පසු දිව්‍ය විමානයක් ඉදිකර දියයුතු බවත් පොරොන්දු ගිවිස ගත්හ. එහිදී දුටුගැමුණු රජු කතරගම දෙවියන්ගේ පිහිට පතා ඵලරුහ බෝධියට බාරයක් විය. 

තම පියා වූ කාවන්තිස්ස ගෙන ගිය ප්‍රතිපත්ති තවදුරටත් තහවුරු කරගත් ජ්‍යෙෂ්ඨ ගාමිණී (දුටු ගැමුණු) රජු තම විජයග්‍රහණයෙන් පසු මෙම ස්ථානයේ දෙවොලක් කරවා, ඒ සමය වන විට රුහුණේ ප්‍රබල දෙවියෙකු වූ කතරගම දෙවියන්ට බාර කළ බවත්, රුහුණු වැසියන්ගේ සිත් තුළ සම්මත පිළිගැනීම ලෙස තිබූ මුහුණු සයක්, අත් දොළොසක් සහිතව මයුරාසනාරූඩ වූ රූපය සහිත දිව්‍ය මාළිගය ඉදිකළ බවත් කියැවේ.    

කෙසේ වතුදු අද වන විට කතරගම දේව අඩවිය බෞද්ධ මෙන්ම හින්දු භක්තිකයින්ගේ ඉමහත් ගෞරව ප්‍රසාදයට ලක්වන ස්ථානයකි. කතරගම දේව අඩවිය තුළ ඉස්ලාම් දේවස්ථානයක් පවා තිබේ. එනිසා කතරගම දේව සංකල්පය හා කතරගම පුදබිම ජාතික සමගියේ යම් යම් ලක්ෂණ පිරුණු කේන්ද්‍රස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. 


නවෝදිකා සුභාෂිණී

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

කැලණිය



මැණික් හා බැඳි ජන සංස්කෘතිය

 


ශ්‍රී ලංකාව අතීතයේ සිට විවිධ නම් වලින් හඳුන්වා ඇත. පෙරදිග මුතු ඇටය, සිරිලක, තම්බපන්නි, තැප්රෝබේන් ආදී නම් වේ. මීට අමතරව රත්නදීප යනුවෙන්ද හඳුන්වා ඇති අතර, එලෙස හඳුන්වා ඇත්තේ ලංකාවේ ඇති මැණික් කර්මාන්තය නිසා විය හැක. ශ්‍රී ලංකාව අතීතයේ සිට මැණික් සම්බන්ධයෙන් ඉමහත් කීර්තියක් දරා ඇත. ඒ බව විවිධ මූලාශ්‍ර වලින් හෙලිවේ. ලංකාවේ දිස්ත්‍රික් බෙදීම් අතර රත්නපුර දිස්ත්‍රික්කයට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. භූගත ඛණිජ සම්පතක් වශයෙන් මැණික් සුලභවීම ඊට එක් හේතුවකි. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, නිවිිතිගල, කලවාන, කහවත්ත, පැල්මඩුල්ල, බලංගොඩ, ඔක්කම්පිටිිය, හොරණ, අවිස්සාවේල්ල, පොළොන්නරුව, මාතලේ, කතරගම, ආදී පළාත් මැණික් සඳහා ප්‍රසිද්ධ ය. 

                                 මැණික් යනුවෙන් සඳහන් කරනුයේ භූගතව පවත්නා දුර්ලබ දැඩි සංයුතියකින් යුතු ආකර්ශණීය වර්ණ සහිත ඉතා වටිනා පාෂාණ විශේෂයකි. රත්නයක් වූ ගල මාණික්‍ය රත්නය ආදී නම්වලින් විවිධ ශබ්දකෝශකරුවෝ මෙය හඳුන්වනු ලබති.  

            1. අලංකාරය

            2. චිරස්ථිතිය                               

            3. දුර්ලභත්වය   

යන ගුණාංග හේතු කොටගෙන වෙනත් ඛණිජ වර්ග වලින් මෙය වෙනස් වේ.

ලංකාවේ මැණික් පිළිබදව විමසා බලන කල ඈත අතීතයේ සිට මැණික් පිලිබඳව විවිධ පුරාවෘත්ත හා ජනප්‍රවාද ගත තොරතුරු දක්නට ලැබේ. රාවණ රජුගේ මාලිගාවේ බිත්ති වල වටිනා මැණික් ඔබ්බවා විසිතුරු කර තිබූ බව කියැවේ. චූලෝදර මහෝදර නා රජුන් අතර පැවති අරගලයට පාදක වූයේද මැණික් පුටුවකි. සමනල කන්දේ බුදුන්වහන්සේගේ ශ්‍රී පතුල පිහිටුවා ඇත්තේද මැණික් මත බව ඉතිහාසයේ සඳහන් වේ. විජය රජු මධුරාපුර කුමරිය රැගෙන ඒමට පෙර දේවානම්පියතිස්ස රජු අශෝක අධිරාජ්‍යයා වෙතද තුටුපඩුරු ලෙස ශ්‍රී ලාංකික මැණික් යැවූ බව මහාවංශය සඳහන් කරයි. දුටුගැමුණු රජු රුවන්වැලිසෑය තැනීමේදීි නිදන්වස්තු ලෙස මැණික් තැම්පත් කල බව ථූපවංශයේ සඳහන් වේ. ක්‍රි.ව. පස්වන සියවසේදී මෙරටට පැමිණි චීනජාතික පාහියන් හිමි සිය වාර්තා වල ලංකාවේ මැණික් සුලභව තිබූ බවට වාර්තා කොට ඇත. එසේම ක්‍රි. ව. දාහත්වන සියවසේදී මෙරට විසූ රොබට් නොක්ස් නම් ඉංග්‍රිසි ජාතිකයාද මෙරට මැණික් තිබූ බවත්, ඒවා අපනයනය කල බවත් එදාහෙළදිව ග්‍රන්ථයේ සඳහන් කොට තිබේ. මේ අනුව පුරාවෘත්ත සහ ජනප්‍රවාද විමසා බැලීම තුළ මැණික් භාවිතාව දක්නට ලැබෙන නමුත් කර්මාන්තයක් ලෙසට ආරම්භ කරන ලද්දේ මොරොක්කෝව නම් රටේ සිට පැමිණි මුක්කරු නම් ජන කණ්ඩායම විසින් බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මේ මුක්කරුන් ඉන්දියාව ප්‍රදේශයේ පිරිසක් බවත්, යම් යම් මූලාශ්‍ර සාක්ෂි දරයි. කෙසේ නමුත් මැණික් පතල් කැපීම කර්මාන්තයක් ලෙසට මෙම මුක්කරුන් විසින් ආරම්භ කොට ඇති බව පැහැදිලිය. රත්නපුර ප්‍රදේශය මූලික කොට ගනිමින් මොවුන් මැණික් පතල් කැපීම ආරම්භ කොට ඇත. ඒ පිළිබද ඉතිහාස කතාවක්ද ජනප්‍රවාදයේ පවතී. 

          



මැණික් කැණීම සදහා පැමිණි මුක්කරුන් මුලින්ම සබරගමු පළාතට අධිපති යැයි සලකන සමන් දෙවියන්ට භාරයක් වී ඇත. එනම් මැණික් කැණීමෙන් වාසියක් වුවහොත් මැණික් නැව් හතකින් සමන් දෙවියන්ට පූජා කොට බාරය ඔප්පුකරන බවට පොරොන්දු වීමයි. දේව විශ්වාසය සහ දෙවියන්ගේ ඇල්ම බැල්ම පිළිබදව අධික විශ්වාසයක් තබාගෙන කරන ලද  වෘත්තියක් නිසා මෙලෙස බාරවී ඇත. කෙසේ නමුත් මෙලෙස මැණික් කැණීම තුළින් ප්‍රාර්ථනා කල පරිදි මැණික්  ලැබී වාසි වී ඇති නමුත්, ඔවුන් පොරොන්දු වූ බාරය නියමිත පරිදි ඔප්පු කොට නොමැත. එනම් මැණික් නැව් හත වෙනුවට කට්ට ලෙසින් හදුන්වන එතරම් වටිනාකමකින් තොර ගල් නැව් හතකින් බාරය ඔප්පුකොට ඇත. මෙය දෙවියන් රැවටීමකි. ඒ අනුව එම කරන ලද බොරුව නිසා මුහුද මැදදී මැණික්ද රැගෙන මොවුන් යන නැව පෙරලී සියලු දෙනා මියගොස් ඇති බව සඳහන් වේ. මුක්කරුන් විශාල පිරිසක් මෙලෙස ලංකාවට පැමිණ මැණික් කැණීම සිදුකොට ඇති අතර  ලංකාවේදී මියගිය පිරිස් වලදමන විට ඔවුන්ට අයිති මැණික් එම සොහොනට දමා මිහිදන් කොට ඇති අතර නූතනයේදී මුක්කරු සොහොනක් සොයගත හැකි නම් යහමින් මැණික් ගැරිය හැකි බවට පුද්ගලයන් අතර පවතින විශ්වාසයට අනුව එය සත්‍යක්යැයි ගම්‍යමාන වේ. 

මුක්කරුන් දැඩි දේව භක්තිකයින් ලෙස සැලකේ. එසේම මැණික් කර්මාන්තයද ඇදහිලි විශ්වාස පදනම් කොටගත් කර්මාන්තයක් වේ. මෙම ඇදහිලි විශ්වාස පුද සිරිත් තම මුක්කරුන්ගෙන්ම පැවත ගෙන එන්නේදැයි නිශ්චිත තොරතුරු නැතත් ඔවුන්ද පතල් කැණීමට පෙරාතුව දෙවියන්ට බාරහාර වීම, පහන් දැල්වීම, සුභ නැකැත් භාවිත කිරීම ආදිය සිදු කරන්නට ඇත. ඒ අනුව පතල් කැණීමට ස්ථානයක් තෝරාගැනීමේ සිට මැණික් ගල් කපා ඔපමට්ටම් කිරීම දක්වාම එකී සංස්කෘතිය හා බද්ධව පැවත එන ඇදහිලි විශ්වාස පුද සිරිත් ආදිය නූතනයේදීද දක්නට ලැබේ. මෙහිදී පොළොවට අරක් ගෙන ඇතැයි සැලකෙන බහිරව සංකල්පය හා කත් පළාතට අධිගෘහිත දෙවියන් පිළිබදව පවත්නා දැඩි විශ්වාසය කැපී පෙනේ. මුලින් සඳහන් කරන ලද මුක්කරුන් විසින් සමන් දෙවියන්ට මැණික් නැව් 07 ක් බාරවීම තුළින් එය මනාව පැහැදිලි වේ. මේ අනුව සලකා බැලීමේදී පතල් කර්මාන්තය සිරිත් විරිත්, ඇදහිලි විශ්වාස, පුද සිරිත් පදනම් කොට ගනිමින් සිදුකරනු ලබන බව පැහැදිලිය. 

අතීතයේදී මුක්කරුන් විසින් ඇති කළ සිරිත් විරිත් වලට යමින් නූතනයේදී ඊට තරමක් වෙනස් ආකාරයේ පුද සිරිත් භාවිතා කොටගෙන පතල් කර්මාන්තය සිදු කරනු ලබයි. ඒ ඒ ප්‍රදේශයට අධිගෘහිත දෙවි දේවතාවුන්ට භාර හාර වීමට අමතරව පතල් කර්මාන්තයේදී අදෘශ්‍යමාන බලවේග හෝ පුද්ගල කොටස් ඊට අරක් ගෙන ඇතැයි පතල් කරුවෝ විශ්වාස කරති. (අතීතයේ පතල් තැනූ මුකක්කරුන් අරක්ගෙන ඇතිබව බොහෝ දෙනාගේ මතයයි.) එකී තත්ත්වයන්ගෙන් ආශිර්වාදය පිහිට ලබා ගැනීම උදෙසා විවිධ චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කෙරේ. එනම්,


                      1. පතල් හිමියාගේ ජන්ම පත්‍රය පරීක්‍ෂා කිරීම 

                      2. සුභ හෝරාවක් තෝරා ගැනීම 

                      3. අංජනම් බැලීම

                      4. බාරහාර වීම

                      5. දෙවියන් උදෙසා පහන් දැල්වීම

                      6. පූජාවන් තැබීම

                                                        

ආදී ක්‍රමෝපායන් භාවිත කරනු ලබයි. මෙකී සෑම පුද සිරිතකින්ම බලාපොරොත්තු වූයේ වටිනා මැණික් ලබා ගැනීමයි. මැණික් පතලක් කැපීම සදහා ඉහත ක්‍රමෝපායන් අනුගමනය කොට ඉඩමක් තෝරාගැනීමෙන් අනතුරුව තෝරාගත් භූමිය සදහා වෙනමම වත් පිළිවෙත් අනුගමනය කරයි. 

          1. බහිරව පූජා                                       2. රාහු පූජා

          3. දේව පූජා                                          4. බෝධි පූජා

          5. දෙහි කැපීම                                       6. නවග්‍රහා පූජාව

          7. කුමාර දානය දීම                               8. කිරි අප්පා දානය දීම


යන මෙකී පූජා සිදු කිරීම මඟින් අදාළ භූමියේ දොස් අරවා ගෙන මැණික් කැපීමට අවශ්‍ය පසුබිද සකසා ගනී. මෙහදී පතල් කර්මාන්තයට විශේෂ වූ පුජා ක්‍රම ලෙස කුමාර දානය දීම හා කිරිඅප්පා දානය දීම හැඳින්විය හැකිය. කුමාර දානය ලෙස සඳහන් කරනුයේ පතලයක ඉල්ලම් ගැනීමෙන් පසු එම ඉල්ලම් ගැනීමට ප්‍රථම පතල් භූමියේ සිදුකරන දානමය කටයුත්තකි. මෙයට වයස අවුරුදු 10ත් 12ත් අතර පිරිමි ළමුන් යොදා ගැනීම සිරිතකි. දානය ද’මට පෙරදින රාත්‍රියේද’ හෝ එදිනම උදෑසන මෙලෙස දරුවන් සත් දෙනෙකු හෝ දාහතර දෙනෙකු පතල් භූමිය වෙත කැදවාගෙන එනු ලබන අතර ඔවුහු සුදු පැහැති වස්ත්‍රවලින් සැරසී සිටිය යුතුය. ප්‍රථමයෙන් පතල් භූමියේ තනනු ලබන මල්පැල කතරගම දෙවියන් ප්‍රමුඛ සමන්, නාථ, විෂ්ණු, පත්තිනි යන දෙවියන් උදෙසා මල් පහන් හා කැවුම්, කිරිබත්, ඉදුණු කෙසෙල් සහිත පූජා වට්ටියක් පුදනු ලැබේ. විශේෂත්වය වන්නේ මෙම කැවිලි වර්ග පතල් භූමියේදී පුරුෂ පක්‍ෂය විසින්ම සකස් කරනු ලැබීමයි. අනතුරුව පතල් වාඩියේ එලන ලද පැදුරක් මත දරුවන් වාඩිකරවා, තෙරුවන් වැඳ, දෙවියන්ට පින් දී, කුමාර යාදින්න ලෙස සඳහන් කරනු ලබන කතරගම දෙවියන් හා සම්බන්ධ කන්නලව්ව දේවාලයක කපු මහතා විසින්  ගයනු ලැබේ. අනතුරුව මියගිය ඥාතීන්ට පින් පමුණුවා කැවිලි වර්ග දරුවන්ට බෙදා දී අනුභව කිරීමට කටයුතු කරයි. මේ සදහා පැමිණෙන ළමුන්ට විශේෂ ත්‍යාගද පිරිනමනු ලැබේ. කුමාර දානය සාමාන්‍යයෙන් කුඩා දරුවන් උදෙසා දෙනු ලබන දානමය කටයුත්තක් ලෙස හැදින්වුවද එය වූ කලි වටිනා මැණික් ලබා ගැනීම සඳහා කතරගම දෙවියන් උදෙසා පවත්වන පුද පූජාවක් ලෙස හැඳින්විය හැකිය. 

කිරිඅප්පා දානය නමින් හැදින්වෙන පුජා කර්මයද මැණික් පතල් සම්බන්ධ දානමය කටයුත්තකි. ඇතැම් විට ගෘහ ආශ්‍රිතවද මෙම චාරිත්‍රය පැවැත්වේ. පතල් ආශ්‍රිතව දානය පැවැත්වීමේදී ඉල්ලම් ගොඩ දැමීමට පෙර මෙය පවත්වන අතර ඒ සදහා වයස අවුරුදු 60ත් -70ත් අතර පිරිමින් සත් දෙනෙකු සහභාගී කරගනු ලැබේ. ඒ සඳහා සුරා සූදුවෙන් තොර දැහැමි ජීවිත ගත කරන පුද්ගලයින් තෝරා ගැනීම සාමාන්‍ය සිරිතයි. මෙහිදී අවශ්‍ය පූජා ද්‍රව්‍ය වශයෙන් කැවුම්, කෙසෙල්, කිරිබත් ආදිය පතල් වලෙහිම සකස් කරගනු ලබන්නේ පුරුෂ පක්‍ෂය විසිනි. ප්‍රථමයෙන් පතල් සීමාව ගොක් රැහැන් ඇද වෙන් කරනු ලබන අතර පතල් භූමියෙහි මල් යහනක් තනනු ලැබේ. කහ දියර ඉස භූමිය පිරිසිදු කොට කිරි අප්පාවරු කැඳවාගෙන එනු ලබන්නේ හිමිදිරි පාන්දරය. අනතුරුව මල්පැල් වලට මල්මාලා දමා පහන් පත්තු කොට සමන් දෙවියන් වෙනුවෙන් ස්ත්‍රෝත්‍ර හා කතරගම දෙවියන් උදෙසා දේව දිෂ්ටිය නම් විශේෂ මන්තතරයක් කියනු ලබන අතර, එය පැමිණි ප්‍රධාන කිරිඅප්පා විසින් ගයති. අනතුරුව දානය භුක්ති විඳීමෙන් පසුව දෙවියන්ට පින් දී පතලයට සෙත් පතා දානයේ වැඩ අවසන් කෙරේ. මේ අනුව මෙම දානමය පින්කම් සිදු කොට පතල් කර්මාන්තයට ආසිරි පතා වාසි ලබා ගැනීම අරමුණු කොටගෙන මෙම කටයුතු සිදු කරනු ලබයි. 

මෙවැනි පුද සිරිත් වලින් අනතුරුව කෙසේ හෝ මැණික් ලබා ගැනීමෙන් පසුව එය අලෙවි කොට මිලක් ලබා ගැනීම සිදුකරනු ලබයි. මෙම මැණික් වෙළෙදාමේදී ලාභ මෙන්ම පාඩු සිදුවන අවස්ථාද දක්නට ලැබේ. අතීතයේදී මුක්කරුන් ලංකාව තුළ මැණික් වෙළෙදාම සිදු කොට නැත. නමුත් ඔවුන් තම දිවි පෙවෙත ආරක්‍ෂා කරගැනීම සදහා විවිධ භාණ්ඩ වලට මෙම මැණික් හුවමාරු කරගනු ලැබූ බව සඳහන් වේ. ලංකාව තුළ අලෙවි නොකෙරුවද පිටරටට ගෙන ගොස් අලෙවි කරන්නට ඇතැයි සැලකේ. කෙසේ නමුත් ඉන් අනතුරු කාල සීමාව තුළ අව්රශ්මියට අල්ලා මැණිකෙහි දිස්නය මත එහි මිල ගණන් තීරණය කොට අලෙවි කරන්නට විය. මෙලෙස පරීක්‍ෂා කිරීමෙන් ගලක අභ්‍යන්තරය ඉතා පැහැදිලිව දැක බලා ගැනීමට හැකිවනු ඇත. මෙම මැණික් විකිණීම පතල් ආශ්‍රිතව මෙන්ම මැණික් පොළවලද සිදු කෙරේ. ඊට අමතරව වෙන්දේසි ක්‍රමයටද මැණික් විකිණීම දක්නට ලැබේ. එහිදී එකී ආදායමෙන් 3% ක් තැරැව්ව සදහා වෙන් කිරීම සාමාන්‍ය සිරිතයි. එයින් භාගයක් මිලදී ගනු ලබන වෙළෙඳුන්ටත් ඉතිරිය එම වෙන්දේසි ස්ථානයටත්ය.   

මින් පෙර මැණික් වීකිණීමේ රහස් ක්‍රම කිහිපයක් පැවතුණි. ඇඟිලි පුරුක් ගණන් කිරීමේ ක්‍රමය ඉන් එක් ක්‍රමයකි. වර්තමානයෙහි ඇතැම් මුස්ලිම් ජනයා අතර ඉතා දුලබව භාවිත වන මෙම ක්‍රමය ගැනුම්කරුවා හා විකිණුම්කරුවන් තම ඇඟිලි ලේන්සුවකින් හෝ සළුවකින් වසා ඇඟිලි පුරුක් මිරිකා මැණික් ගලෙහි වටිනාකම තීරණය කිරීමේ ක්‍රමයකි. මෙහිදී ගැනුම්කරු තමා අපේක්‍ෂිත මුදල විකිණුම්කරුගේ ඇඟිලි පුරුක් මිරිකා ප්‍රකාශ කරන අතර විකිණුම්කරුද එයට එකඟ නම් ඒ බව ගැණුම්කරුගේ ඇඟිලි තදින් මිරිකා ප්‍රකාශ කරති. මෙය එක්තරා ආකාරයකින් මැණික් කර්මාන්තයේ රහස්‍ය සන්නිවේදන ක්‍රියාවලියක් බව කිව යුතුය. අවබෝධ කරගැනීමට තරමක් අසීරු මෙම ගනුදෙනු ක්‍රමය මුදල් ඒකක අඩු අතීතයේ භාවිත කළ ද, මුදල් ඒකක සංකීර්ණ වත්මනෙහි මෙම ක්‍රමය භාවිත කිරීම අපහසු බව කිව යුතුය. 

ඉතා වටිනා දුර්ලභ පාෂාණ වර්ගයක් වන මැණික් පතල් කැණීම, එහි පුද සිරිත්, මැණික් වෙළෙඳාම ආදියට අමතරව අපල සදහා මැණික් පැළඳවීම ද සිදුකරනු ලබයි. එක් එක් නවග්‍රහ අපල වලට අනුව ඒ ඒ මැණික් පැළඳීම සිදුකරනු ලබයි. 


                        ● රවි        - පත්මරාග  

                        ● සඳු        - මුතු

                        ● කුජ        - රතු කැටය

                        ● බුධ        - තෝරමල්ලි

                        ● ගුරු       - පුෂ්පරාග 

                        ● සිකුරු     - සුදුනිල

                        ● සෙනසුරු - නිල් කැට

                        ● රාහු       - ගෝමේද

                        ● කේතු     - කනක වෛරෝඩි


මෙලෙස විවිධ ග්‍රහ අපල වලට විවිධ මැණික් වර්ග පළදවන අතර වටිනාකම අතින් මෙන්ම, අපල දුරුකරන අංශයන් ලෙසද මෙය වැදගත් වේ. 

සංස්කෘතිය අතින් ගත්කල පතල් ආශ්‍රිතව විශේෂිත වචන මෙන්ම කවිද දක්නට ලැබේ. ඒ අනුව පතල් කර්මාන්තය තුළ වෙනම උප සංස්කෘතියක්ද දක්නට ලැබේ. අඩිපොල්ල, අත්පඩිය, ඇලපත, කැකිල්ල, කන් වැල, කනු ලෑල්ල, දෝනාව, දබරය, මාලාව, වැඩි වියදම් ආදී ලෙස විශේෂ වූ වචන මාලාවක්ද අඩංගු වේ. ඒ අනුව බලන කල මෙම පතල් කර්මාන්තය තුළින් මහා සමාජයට වෙනමම උප සංස්කෘතියක් ද එක්වී තිබෙන බව දක්නට ලැබේ.

අතීතයේ මුක්කරු ජන සමාජ කොට්ඨාශය මඟින් කර්මාන්තයක් ලෙස ආරම්භ කරනු ලැබූ මෙම පතල් කර්මාන්තය නූතනය වන විට දියුණු ක්‍රමෝපායන් භාවිත කරමින් ඉතා වැඩි මිල ගණන් යටතේ පවත්වාගෙන යනු ලැබේ. ඒ අනුව කර්මාන්තයක් ලෙස මේ තුළින් විවිධ නිෂ්පාදන ද එළි දක්වමින් නූතනය වන විට ඉතා ඉහළ වටිනාකමකින් යුතුව, දේශීය හා විදේශීය ඉල්ලුමක් සහිත මැණික් කර්මාන්තය ලාංකේය ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වී ඇති බව සඳහන් කළ හැකිය. 



නවෝදිකා සුභාෂිණි

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

කැලණිය විශ්වවවිද්‍යාලය

කැලණිය



"හොන්ඩා" HONDA

    ' එදා මම මේ රථය ළඟට දුවගෙන ගියේ පිස්සෙක් වගේ.ගිහින් ඒ දිහා බලගෙන ඉද්දි රථයෙන් දහනය වී ගලාගෙන ආපු තෙල් සුවඳ මට අද වගේ මතකයි.ඒ සුවඳ ...